මෙසේ අසන්ට ලැබේ. උතුම් ද්වීපයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සිංහල ද්වීපයෙහි භාවනානුයෝගීන් වසන කාළකන්දර නම් විහාරයක් ඇත. ඒ වෙහෙරෙහි මෛත්‍රි විහරණ ඇති, වත්පිළිවෙත්හි යෙදුණු, සස්නෙහි පිහිටි ඵුස්සදේව නමැති යෝගී තෙරනමක් පන්සියයක් භික්ෂූන්ට අවවාද දෙමින් වාසය කරයි. හෙතෙම මිනිසුන්ට ප්‍රියමනාප වූ අතිශයින් දැකුම්කලු පුද්ගලයෙක් විය. යම් අවස්ථාවක තෙරනම පිඬුපිණිස යේ නම් ඒ මග කුඹුරුවල වැඩකරන මිනිස්සු ගොනුන් ලිහා තෙරුන් වැඳීමට මගට එති. ගොන්නු ඒ කාලයේ දී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ ඒම බලාපොරොත්තුවෙන් සතුටු සිතැත්තෝ වූහ. ඒ චිත්තප්රසාදයෙන් ඔවුහු තව්තිසාභවනයෙහි උපන්හ. ඉක්බිති එසේ උපන් පෙර ගොන්නුව සිටි දේව පුත්‍රයෝ පන්සිය දෙනෙක් සුධර්මාසභාවෙහි රැස්ව දෙව්රජු ඉදිරියෙහි මෙසේ කීහ. (1) සිල්වත් ගුණවත් උගත් ඵුස්සදේව යයි ප්‍රකට වූ තෙරනමක් කාළකන්දර ලෙණෙහි වසයි. (2) හෙතෙම අඩු ආශා ඇත්තේය, ධුතාඞ්ග දරන්නේය, සියලු සත්ත්වයන්ට අනුකම්පා කරන්නේය, විවේකයෙහි ඇලුණේය, ධ්‍යාන වඩන්නේය, මනා සිහි ඇත්තේය, ශාන්ත සිත් ඇත්තේය, (3) ඒ තෙරනම සියලු සතුන්ගේ යහපත කැමති වේ, සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් කාළකන්දරයෙහි වසයි. (4) ඒ තෙරනම මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද මෘගපක්ෂීන්ට ද ප්‍රිය වේ. හෙතෙම නිතර වනයෙහි වසයි. (5) දිනූ ඉඳුරන් ඇති ඒ ඵුස්සදේව තෙරනම මෙසේ අනන්ත ගුණ ඇත්තේය. (6) පන්සියයක් පමණ ගොනුන්ව ඉපද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවා මේ දෙව්ලොවට පැමිණියෙමු. (7) නොයෙක් මෘගපක්ෂීහු ද එතුමන් කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්හ. මිනිසුන් ගැන කියනුම කිම? (8) මෙසේ ඒ සිල්වත් මනාසංවර ඇති තෙරනම දෙව්මිනිස් බොහෝ දෙනෙකුන්ට ද මෘග පක්ෂීන්ට ද සැප එළවන්නකි.
තව්තිසා වැසි දෙවියෝ මෙසේ කාළකන්දර වෙහෙර වැසි ඵුස්සදේව තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා “පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමැත්තෙමු” යි කීය. ශක්‍ර තෙමේ ඒ කීම පිළිගෙන යම් පමණ ඉක්මනින් මිනිසෙක් වක් කළ අතක් දික්කරන්නේද, දික්කළ අතක් හකුළන්නේද, එපමණ ඉක්මනින් දෙව්ලොවින් බැස කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එක් පසෙක සිටගෙන (9) “ස්වාමීනි, තව්තිසාවැසි දෙවියෝ ඔබ දැකීමට කැමතිවෙති, එබැවින් දෙව්ලොවට යමු”යි යාඥා කළේය. තෙරනම: (10) දේවේන්ද්රය, මම පෘථග්ජනයෙක් වෙමි. යම් සෘඬියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ සෘඬිය මට නැතැයි කීය. “ස්වාමීනි, ඔබ පෘථග්ජන බව මම දනිමි. ඔබට සෘඬියක් නැති බවත් දනිමි. මම ඔබවහන්සේ ඔසවාගෙන යන්නෙමි; ඉවසුව මැනවැ”යි සක්දෙව් රජ කීය. තෙරුන් නිශ්ශබ්ද වූ විට ශක්‍ර තෙමේ එතුමන් වැඩහුන් ගලත් සමග ඔසවා ගෙන ගියේය. ඔසවන කෙණෙහිම තෙරනම ඇස් පියා ගත්තේය. (එසේ කෙළේ දෙවඟනන් නොදැකීම සඳහා යයි සහස්සවත්ථුවෙහි කියැවේ) දෙව්රජ තෙරුන් ගෙනගොස් වැඩහුන් ගල්තලාව සමගම සුධර්මා සභාවෙහි තැබීය. සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසින් පිරිවරා ඉඳ ගත්හ. තෙරනම සංයුත්ත නිකායේ මහාවර්ගය කටපාඩමින් කීය. ඒ දේශනාවසානයේදී තෙරනම “දේවරාජයෙනි, මා මිනිස් ලොවට ගෙන යනු මැනවි; පිණ්ඩපාත කාලය වන්නේය”යි කීය. ශක්‍රතෙමේ යහපතැයි කියා ගල්තලාව සමග තෙරුන් ගෙනවුත් කාළකන්ද විහාරයෙහි තැබී. මින් පෙර ඒ තෙරුන් සංයුත්ත මහා වග්ගය කියවන විට යාම තුනකින් නිමාවට යයි. එබැවින් මෙහිදීත් ඒ වර්ගය කියා අවසන් වෙන විට මිනිස් ලොව උදෑසන බත් කාලයයි එතුමෝ දැනගත්හ. ඒ නිසා තමා මිනිස්ලොවට ගෙනයන සේ සක්දෙව් රජුට කීය. සක්දෙව්රජ මේ ආකාරයෙන්ම සවරක් මේ තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්ම ශ්‍රවණය කෙළේය.
තෙරනම එක්දිනක් බෝමලුව මනාසේ හැමද බුදුගුණ සිහි කරමින් ඇඳිලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියේය. මාරයා එය දැක වික්ෂේප කිරීම පිණිස මහාවාතයක් මවා බෝමලුවෙහි කසළ ගෙනවුත් දමා ගියේය. නැවත තෙරනම එය හැමද බුදුගුණ සිහිකරමින් සිටියේය. නැවත මාරයා වඳුරෙක් වී ඒ ඒ අත්තට පනිමින් මලුව කැත කළේය. තෙරනම නැවතත් එය හැමද බුදුගුණ සිහිකරමින් සිටියේය. නැවත මාරයා මහලු ගවයකුගේ වෙසින් අවුත් බෝමලුවෙහි ඇවිදිමින් පාගා අවුල් කෙළේය. එවිට තෙරනම මේ මාරයා යයි දැනගෙන (12) “පාපිෂ්ටය, මම මනාසේ හැමදි බෝමලුව දැක සිත පහදා ගත්තෙමි; තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහිදැ”යි ඇසී. මාරයා තෙරුන් විසින් මා හැඳිනගත්තා ලදැයි දැන සියවෙසින් පෙනී සිටියේය.
(13) ඵුස්සදේව තෙරනම තමා ඉදිරියෙහි සිටි මාරයා දැක මෙසේ කීය; (14) “ඔබ බුද්ධරූපය මවා පෙන්වීමට සමර්ථවෙහි. මම එය දකිනු කැමැත්තෙමි. එසේ කරන ලෙස ඉල්ලමි”යි. (15) යහපතැයි පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස් ලකුණින් යුත් බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියෙහි සිටියේය. ඉක්බිති තෙරනම බුද්ධරූපය දැක ඇඳිලි බැඳගෙන දැහැගත් ලොම් ඇත්තේ කඳුළු පිරුණු ඇත් ඇතිව පැහැදීමෙන් යුතුව දීපංකර පාදමූලයේ පටන් බෝසත් සිරිත මෙනෙහි කොට බුදුගුණ සිහිකරමින් මෙසේ කීය: (16) මහාමුනීන්ද්රයෙනි, හුදකලා වූ මා සඳහා ඔබ විසින් කරුණාසහගත සිතින් නොයෙක් කලාපවලදී කුසල් රැස් කරන ලදි. (17) සිය සිරුරුත් පරිත්‍යාග කරන ලදි. සිල් රැක්කෙය. තපසට ගියේය, ප්‍රඥාව පිරුවේය, (18) වීර්යය දැඩිසේ ගෙන ඉවසීම පුරුදු කෙළේය, සත්‍යයෙහි පිහිටියේය; අධිෂ්ඨානය පිරුවේය. (19) මෙත් සිතැති ඔබ දුක් දෙකෙහි නොසැලුණාහ. නිවන් මඟ සොයමින් බොහෝ දුක් අනුභව කළහ. (20) මෙසේ ඔබ වහන්සේ ඒ ඒ ජාතිවලදී ලෝකයාට හිත පිණිස පිළිපදිමින් දීර්ඝ වූ සංසාර මාර්ගයෙහි ඇවිද්ද සේක. (21) පිනින් හටගත්තා වූ ඔබගේ මේ මනෝරම්‍ය වූ බුද්ධ රූපය දෙව්මිනිස් අසුරයන්ගේ නෙත් අලවන්නකි. (22) චක්රලක්ෂණ ඇති ඔබගේ පාදයෝ උඩ පැත්තෙන් උසව සිටියාහ. විලුම්දෙක දිගය. කෙණ්ඩා දෙක ඒණි මුවන්ගේ කෙණ්ඩා වැනිය. කලවා මනාසේ පිහිටියහ. (23) දකුණට කැරකුණු නාභියක් ඇත. කෝෂයක ගිලුණු පුරුෂලිංගය ඇත. උරහිස් දෙක ද බාහු දෙක ද දික්වෙති. බෙල්ල වටකුරුය. අඩුවක් නැත. (24) දික්වූ ඇඟිලි ඇත්තාහ, තඹවන් නියපොතු ඇත්තාහ, උස්වූ නහයක් ඇත, මනා බැම දෙකක් ඇත. සිංහයාගේ ඉදිරිපස ශරීරය වැනි ශරීරයක් ඇත. සිංහයාගේ හක්ක වැනි හක්කක් ඇත. (25) සමවූ සුදු වූ අඩු නොවූ සතළිසක් දත් ඇත්තාහ. පළල් දිවක් ඇත්තාහ. රතුතොල් ඇත්තාහ. වසුපැටවුන්ගේ ඇස් වැනි ඇස් ඇත්තාහ. (26) දේදුනු වැනි ඇස්බැම ඇත්තාහ. ගව කිරෙන් නගින පෙණ වැනි සුදු වූ ඌර්ණ රෝමයක් ඇත. අඳුන් පැහැති දකුණු අතට වකුටු ගැසුණු හිසකෙස් ඇත්තාහ. (27) උඩට හැරුණු ලොම් ඇත්තාහ. හිසෙහි උණ්හීසය*[1] බබළයි. රන්වන් ශරීර ඇත්තේය. නුගගසක අතුපතර හා ගැලපෙන උස මෙන් නිග්‍රෝධපරිමණ්ඩල ඇත්තේය. (28) සියලු සත්ත්වයන්ට උත්තම වූ හැමමරුන් දිනූ මෙවැනි සම්මා සම්බුදු රජ අනිත්‍යතාවෙන් වැඩුණේ අද නොදක්නා ලැබේ. (29) කුණ්ඩලී වශයෙන් කැරකුනු නිල්පැහැති රැස් විහිදුවන උණ්භීස සහිත බුදුන්ගේ ඒ කේශයෝ අද නොදක්නා ලැබෙත්. (3) පුන් සඳේ පැහැය ඇති කිරි පෙණ මෙන් සුදු වූ ඒ ඌර්ණ රෝම ධාතුව දසදහස් සක්වළ ආලෝක පතුරුවා අද නොදක්නා ලැබේ. (31) දික් වූ පුළුල් වූ නිල්වූ නිර්මල වූ ආලෝක සහිත වූ ඒ ඇස් අද නොදක්නා ලැබේ. (32) දකුණට කැරකුණු නාභිය ද, කෝෂයෙන් වැසුණු ලිංගයද ඇතෙකුගේ බඩ වැනි කුක්ෂිය ද, එණිමුවකුගේ වැනි කෙණ්ඩා ද විනාශයට ගොස් නොපෙනෙති. (36) බුදු රජුන්ගේ උඩි පතුල් පැලූ සක්ගෙඩියක් මෙනි, විලුම් දික්වෙති, යටිපතුල් චක්රලක්ෂණයෙන් යුක්ත වෙති. ඒ සියල්ල අද නොදක්නා ලැබේ. (36) බුදු රජ මසින් පිරුණු තැන් සතක් ඇත්තෙකි, අප්‍රති පුද්ගලඅසමසමයෙකි. බබළන ලකුණු ඇත්තෙකි. සියල්ල අද අදෘශ්‍යමානය.
(37) මාරයා විසින් නිර්මිත රූපය දුටු තෙරනම මෙසේ විදසුන් වඩා රහත්බවට පැමිණියේය. (38) මාර තෙමේ එය දැනගෙන තෙරුන් විසින් මම වංචාකරන ලදිමි සිතා දොම්නස් ඇතිව එතැනම අන්තර්ධාන විය. තෙරනම රහත්වී යයි දැනගත් ශක්‍ර තෙමේ එහි අවුත් “ස්වාමීනි, දෙව්ලොවට යමු”යි කීය. තෙරනම යහපතැයි කියා එහි ගොස් දහම් දෙසා සෘඬියෙන් ස්වකීය විහාරයට පැමිණියේය. ඉක්බිති එක්තරා නා රජෙක් ස්වකීය භවනයෙන් නික්ම තෙරුන් වෙත ගොස් පන්සියයක් භික්ෂූන් සමග දානය පිළිගන්නා සේ තෙරුන්ගෙන් ඉල්වීය. තෙරනම නිශ්ශබ්දවීමෙන් එය පිළිගත්තේය. එදවස්හිම තම්බායේ සුමනතෙර (=තම්බසුමනතෙර) නම ඵුස්සදේව තෙරුන් වැඳීම සඳහා පන්සියයක් භික්ෂූන් සමග එහි පැමිණියේය. හෙතෙම තෙරුන් වැඳ “ස්වාමීනි, පිණ්ඩපාතය සඳහා යාමට සුදුසු කාලය”යි කීය. “නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි”යි ඵුස්සදේව තෙර කීය. තම්බසුමන තෙරනම එකඟ විය. ඉක්බිති නා රජ ගොස් “ස්වාමීනි පිඬු සඳහා වැඩීමට යෝග්‍ය කාලය”යි දැන්වීය. නාරජුගේ කීම අසා ඵුස්සදේව තෙරුන් ප්රමුඛ දහස්නමක් භික්ෂූහු නාරජුගේ විමානය සමීපයෙහි වූ ගංඉවුරෙහි වැඩි මහලු පිළිවෙළින් සිටගත්හ. නාරජ සියපිරිස සමග අවුත් මහතෙරුන්ගේ පාත්‍රය ගෙන දිව්‍යාහාරයෙන් පුරවා තෙරුන්ට දුණි; දිවසළු දෙකක්ද පාමුල තැබීය. තෙරනම ඒ පිණ්ඩපාතයත් සළු දෙකත් අන්‍ය භික්ෂුනමකට දුණි. නාරජ නැවත දන් පාත්‍රයක් හා සළු දෙකක් දුණි. තෙරනම එය තෙවෙනි භික්ෂුවට දුණි.
මෙසේ දහසක් පමණ වූ භික්ෂූන්ට දෙන අතර තම්බසුමන තෙරුන්ගේ ශිෂ්‍ය වූ දෙනමක් ඒවා ගන්ට නොකැමති වූහ. නාරජ එය දැක එතැනට අවුත් නොගැනීමට කාරණය කිමෙක්දැයි විචාළේය. “මහරජ අපි වත්බිඳීම නොකරන්නෙමු”යි ඔවුහු කීහ. වත්බිඳීම කුමක්දැයි ඇසූ විට තමන්ට ලැබෙන දෙය පමණක් ගැනීම යයි කීහ. නාරජ යහපතැයි කියා වස්ත්‍ර ජෝඩු දෙකක් ඒ දෙනමගේ පාමුල තැබීය. එහි තැබූ කෙණෙහි ඒ ජෝඩුදෙක ජෝඩු සතරක් විය. එය දැක භික්ෂූහු විස්මයට පත්වූහ. නාරජ වනාහි නොසතුටු වී ඒ භික්ෂූන්ට සංවේග උපදවනු සඳහා ඵුස්සදේව තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මෙසේ කීය: (39) කාළකන්ද විහාරයෙහි වසන ඵුස්සදේව මහතෙරුන්ට මම බතින් ආරාධනා කෙළෙමි. මම ඒ තෙරුන්ට දානය දෙමි. (40) තෙරනම පිළිගෙන ඉදින් ඔබට නොදේ නම් තෙරනම ඔබගේ සැපය කැමති වන්නෙක් නොවේ. (41) ඒ තෙරුන්ගේ පින නිසා මම ආහාරත් වස්ත්‍රත් දෙමි. තෙරනම පිළිගෙන දහස්නමටම දෙයි. (42) තෙරුන් විසින් පෙරජාතිවලදී මෙවැනි පින් කරන ලදි. ඒ පින ඔබට නැත. එබැවින් නුවණැත්තෙනි, මෙය පිලිගත මැනවි. (43) ඒ තෙරනම මෛත්‍රීවිහරණ ඇත්තේය. රහත්ය, ආශ්‍රව නැත්තෙකි, ඒ ගුණ ඔබට නැත. එබැවින් පඬිරුවනි, මෙය පිළිගත මැනවි. (44) මේ වනරොදෙහි දරුණු වූ නිතර ලේ මස් අනුභව කරන, එකිනෙකාට හිරිහැර කරන සත්ත්වයෝ ඇත්තාහ. (45) ඔවුහුද තෙරුන්ගේ මෛත්‍රී බලයෙන් හිංසාකරන සිත් දුරුකොට සැප ලැබූහ. (46) ඵුස්සදේව මහතෙරනම මෙවැනි ගුණ ඇත්තෙකි. ඔබට ඒ ගුණ නැත. එබැවින් ප්රාඥයෙනි, මෙය පිළිගත මැනවි. (47) යක්ෂයෝද, නාගයෝද, භූතයෝද, දෙව්ලොව දෙවිවරුද ඉන් මත්තෙහි දෙවිවරුද (48) ඵුස්සදේවයන් වහන්සේට ප්‍රිය කරත්. ඔබට ප්‍රිය කරන්නෙක් නැත. එබැවින් මෙය පිළිගත මැනවි. (49) නාරජු විසින් ඉදිරියෙහි සිට මෙසේ අවවාද කරනු ලැබූ ඒ භික්ෂූහු ඒ දනත් වස්ත්‍රත් පිළිගත්හ. (50) මෙසේ ඵුස්සදේව තෙරනම නාගයන්ටද යක්ෂයන්ටද භූතයන්ට ද දෙවියන්ට ද මිනිසුන්ට ද ප්‍රිය වූවෙකි. (51) මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු මෙසේ බොහෝ ගුණ ඇත්තෝ යයි දැන බුදු රදුන් විසින් පසස්නා ලදහ. යම්සේ ඵුස්සදේව තෙරනම නාග-යක්ෂ-භූත-මිනිස් යන මොවුන්ට ප්‍රිය වී ද එමෙන් අන්‍ය මෛත්‍රීවිහරණ ඇති භික්ෂූහු ද ඔවුන්ට ප්‍රියවෙති.
උණ්හීස නම් නලල්පටක් බැන්දාසේ පෙනෙන හිසේ පිහිටීමකි. ↑