යමකප්‍රාතිහාර්ය්‍ය ඥානය

එකවර ප්‍රාතිහාර්‍ය්‍ය දෙකක් දක්වන ඥානය යමක ප්‍රතිහාර්ය්‍ය ඥාන නම් වේ. එය ශ්‍රාවකයන් විසින් නො ලැබිය හැකි ලොව්තුරා බුදුවරුන්ට පමණක් ලැබෙන විශේෂ ඥනයෙකි. ප්‍රාතිහාර්ය්‍ය කිරිම දුෂ්කර වැඩකි. එය රහතුන්ට අරහත්වයේ අනුහසින් කළ හැකියක් නො වේ. රහත්විමේ මාර්ගය අනිකකි. ප්‍රාතිහාර්ය්‍ය කිරිමේ මාර්ගයක් අනිකකි. එබැවින් සියලූ රහත්හු ප්‍රාතිහාර්ය්‍ය කරණයට සමත් වෙති. ධ්‍යානලාභිවූ ඇතැම් පෘථග්ජනයෝද ප්‍රාතිහාර්ය්‍ය කිරීමට සමත් වෙති. ධ්‍යාන ලැබූ තරමින් ම ද ප්‍රාතිහාය්‍ය නො කළ හැකිය. ප්‍රාතිහාර්ය්‍ය කළ හැකි විමට පළමුවෙන් අෂ්ටසමාපත්ති උපදවා ඒවා නැවත තුදුස් ආකාරයකින් පුරුදු කළ යුතු ය. ඍද්ධි ප්‍රාතිහාර්ය්‍ය කළ හැකි තත්ත්වයට සමාපත්ති දියුණු කර ගත් පුද්ගලයෝම ඒවා කිරිමට සමත් වෙති. ප්‍රාතිහාර්ය්‍ය කරන්නේ තුදුස් ආකාරයෙන් පුරුදු කොට දියුණු කර ගත් රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයේ බලයෙනි. එසේ දියුණු කළ පඤ්චමධ්‍යාන චිත්තය අභිඥා චිත්ත නම් වේ. යමක ප්‍රාතිහාර්ය්‍ය ඤාණය යි කියනුයේ ලොව්තුරා බුදුවරාන්ගේ අභිඥාචිත්තසම්ප්‍රයුක්ත ඥානයට ය. අභිඥාලාභියකුට මෙබදු දෙයක් වේවා’යි නිකම්ම සිතීම් මාත්‍රයෙන් යම් කිසි ප්‍රාතිහාර්ය්‍යක් නොකළ හැකි ය. ඒ ඒ ප්‍රාතිහාර්ය්‍යන් කිරිම ද වෙන වෙන ම පුරුදු කළ යුතු ය. යම් කිසි ප්‍රාතිහාර්යයක් කිරිමට වුවමනා ඒ ඒ කරුණ සිදු කිරිමට කසිණයෙක්හි පඤ්චමධ්‍යානයට සමවැදිය යුතු ය. පඨවිකසිණ සමාපත්තියෙන් ගින්නක් හෝ දියක් ඇති කළ නො හැකි ය. ගින්නක් මැවීමට නම් එයට නිසි තේජෝකසිණපඤ්චම ධ්‍යානයට සමවැදිය යුතු ය. මෙසේ ඒ ඒ ප්‍රාතිහාර්‍ය්‍යය කිරිමේ දී ඒ ඒ දෙයට නිසි සමවතකට සමවැදි ඉන් නැඟීමට අධිෂ්ඨාන චිත්තයට බලය ගත යුතු ය.

ඉක්බිති තමා කරන්නට යන ප්‍රාතිහාර්‍ය්‍යය සිතින් සලකා මෙ නම් දෙයක් වේවා යි පරිකර්‍ම කළ යුතු ය. එසේ කරන කල්හි බලාපොරොත්තු වන දෙය සිදු කරන අභිඥභාවයට පැමිණි රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය නැවත ඇති වේ. ඒ සිත ඇතිවෙනු සමඟ අදහස් කළ දෙය නිර්මාණය වේ. ධ්‍යානයෙහි වශීභාවය මඳ පුද්ගලයන්ට යම් කිසි ප්‍රාතිහාර්‍ය්‍යයක් කිරිමට බොහෝ කල් ගතවේ. වශීභාවය වැඩි පමණට ඉක්මණින් ප්‍රාතිහාර්‍ය්‍යය කළ හැකිය. තථාගතයන් වහන්සේට සමාපත්ති විෂයෙහි අධික වශීභාවයක් ඇති බැවින් ඉතා ඉක්මනින් ප්‍රාතිහාර්‍ය්‍යය කළ හැකිය. ධ්‍යානයන්හි අතිශය වශීභාවයක් ඇත්තා වූ තථාගතයන් වහන්සේ ඉතා වේගයෙන් ඒ ඒ සමවත්වලට සමවැදීම නැගිටීම අධිෂ්ඨාන කිරිම කළ හැකි නිසා ශරිරියේ එක් තැනකින් ජල ධාරාවක් පිට කරමින් ම අන් නැනකින් ගිනි කඳන් පිට කළ හැකි ය. එය යමකප්‍රාතිහාය්‍යය ය. එය කළ හැකි නුවණ යමක ප්‍රාතිහාර්‍ය්‍යයඥානය යි.