සැවැත්නුවර වැසි එක් කුලපුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා බුදුසස්නෙහි පැවිදිව උපසම්පදාවද ලබා විසුවේය. ඒ ස්ථවිරතුමා තිස්ස ස්ථවිර නම් විය. පසු කලෙක ඒ ස්ථවීරතුමා රෝගාතුර විය. එතුමාගේ ශරිරයෙහි කුඩා බිබිලි සෑදි ක්‍රමයෙන් ඒවා නෙල්ලිගෙඩි දෙහිගෙඩි, දොඩම්ගෙඩි බෙලිගෙඩි පමණ මහත් වි පැසව පැසවා පුපුරන්නට විය. කාරුණික භික්ෂූහු ආහාර බෙහෙත් සපයා දීමෙන් ද සිවුරු හා වාසස්ථානය පවිත්‍ර කිරිමෙන් ද තිස්ස ස්ථවීරයන්ට උපස්ථාන කළහ. කල් යාමෙන් මුළු සිරුර ම කුණු වී ගියෙන් තිස්ස ස්ථවීරතුමාගේ නම ද වෙනස් විය. ශරිරය කුණු වී ඇති බැවින් එතුමා පූතිගත්තතිස්ස යන නමින් හඳුන්වන්නට විය. භික්ෂුන් වහන්සේලා කොතෙක් උපස්ථාන කළ ද රෝගය මඳකුදු අඩු කළ නො හැකි විය. කල්යාමයේ දී එතුමාගේ ශරිරයේ ඇට ද බිඳෙන්නට විය. ඇට බිදිමෙන් තිස්ස තෙරණුවන්ට නැගිටින්නට වාඩි වන්නට තබා හැරෙන්න පෙරළෙන්නට ද නො පිළිවන් විය. අධික දුර්ගන්ධය නිසා කෙනෙකුට ළං නොවිය හැකි විය. උපස්ථාන නො කල හැකි තත්වයට පැමිණි බැවින් උපස්ථායක භික්ෂුහූ අතහැර දැමූහ. තිස්ස ස්ථවීර ලේ සැරව ගොඬේ අනාථව සයනය කළේය. තථාගතයන් වහන්සේ ලෙව බලා වදාරන සේක්:- අනාථව ශයනය කරන තිසිස ස්ථවීරයන් දුටු සේක. උන් වහන්සේ දැන් මා හැර මේ භික්ෂුවට අන් පිහිටක් නැත ය යි ඟඳකිළියෙන් නික්ම විහාර චාරිකාවෙහි හැසිරෙන සේක්, ගිනිහල්ගෙට වැඩම කොට වතුර සැළියක් ලිප තබා එය හුණු වන තුරු එහි ම වැඩ සිට වතුර හුණු වූ පසු රෝගී භික්ෂුව වෙත වැඩම කොට ඒ භික්ෂුව ඇඳත් සමඟ ඔසවා ගිනිහල් ගෙට ගෙන එනු පිණිස ඇදේ පසකට අත තැබූහ. එකල්හි භික්ෂුහු “අපි ගෙන යන්නෙමු”යි තථාගතයන් වහන්සේ ඉවත් වන්නට කියා ඇඳ ඔසවා ගිනිහල් ගෙට රෝගී භික්ෂුව ගෙන ගියහ. ඉක්බිති තථාගතයන් වහන්සේ රෝගී භික්ෂුවගේ අපවිත්‍රව තිබු සිවුර සෝදවා භික්ෂුව උණු දියෙන් සියතින්ම නහවා පිරිසිදු කොට සේදූ සිවුරු පෙරවූහ. රෝගී භික්ෂුවට එයින් මහත් සැනසිල්ලක් ලැබී සිත එකඟ කර ගත හැකි විය.
එකල්හි තථාගතයන් වහන්සේ භික්ෂුවගේ හිස සමීපයෙහි සිට ධර්මදේශනා කළහ. දේශනාවසානයෙහි සියල්ලන් විසින් හැර දමා සිටි පූත්ගත්ත තිස්ස තෙරණුවෝ සව් කෙළෙසුන් නසා අර්හත් ඵලයට පැමිණිය හ. එක් වරෙක සැළකීමට කෙනෙකු නැතිව සිටි උදරාබාදයකින් පෙළුණු භික්ෂුවකට ද තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවීරයන් වහන්සේ සමග ගොස් උණු පැනින් නහවා උපස්ථාන කළ බව ද විනය පිටකයෙහි මහාවග්ගපාළියේ සඳහන්ව ඇත්තේ ය.