කාළ සිටුපුත්ගේ කථාව

අනේපිඬු සිටාණන්ට කාළ නම් පුත්‍රයෙක් විය. ඔහු සැදැහැවත් ගුණවත් සිටුවරයකුගේ පුතකු වුවද දහම් ඇසිමට විහාරයට නො යයි. බුදුරදුන් නිවසට වැඩම කළ කල්හි ද උන් වහන්සේ ඉදිරියට නො යයි. දහම් නො අසයි. වතක් පිළිවෙතක් නො කරයි. සිටුගෙයි දිනපතා මහසඟනට දන් දෙන නමුත් ඔහු ඒ පැත්තට නො යයි. ඔහුගේ නො මනා පැවැත්ම දැක සංවේගයට පැමිණි සිටුතුමා, “මෙසේ මිසදිටු ගෙන සිට මොහු අපායට ගිය හොත් නපුරෙක, ධනයෙන් පොළඹවා හෝ මොහුගේ ලබ්ධිය බිඳ පිසමි’යි සිතා ඔහු අමතා “දරුව, විහාරයට ගොස් පෙහෙවස් වැස දහම් අසා එව, එසේ කළ හොත් නුඹට කහවනු සියය ක් දෙමි’යි කීය. ඔහු එසේ කළහොත් කහවණු සියය ම දෙනවාම ද? කියා සිටුතුමාගෙන් නැවත නැවත අසා තුන්වරක්ම පොරොන්දු කරවා ගෙන පෙහෙවස් ඉටා විහාරයට ගොස් මුදලට සිල්ගන්නනට ආ ඔහුට බණක් ඇසිම නුවුවමණා බැවින් ඉඩ ඇති තැනකට වී නිදා සිට පසු දින නිවසට ආයේ ය. ඔහු පැමිණි කල්හි සිටුතුමා මොහුට කැඳ ආදිය වහා දෙවැයි සේවකයන්ට අණ කළේය. “මුදල් දෙනතුරු කිසිවක් නො වළඳමි” යි ගෙනෙන ගෙනෙන දෙය ඔහු ප්‍රතික්ෂේප කෙළේය. සිටුතුමා කහවනු සියය දුන් කල්හි එය අත තබාගෙන ඔහු ආහාර අනුභව කෙළේය. පසු දින සිටුතුමා “විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි හිඳ බණ අසා බණපදයක් උගෙන ආවහොත් කහවණු දහසක් දෙමියි’ කියා ඔහු බණ ඇසිමට පිටත් කළේ ය. ඔහු ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිට බණ පදයක් දැනගෙන පළා යන්නට සිතා බණ ඇසුයේ ය. ඔහුගේ අදහස දත් තථාගතයන් වහන්සේ ඔහුට එක් බණපදයකුදු මතක තබා ගත නො හෙන පරිදි ප්‍රාතිහාර්‍ය්‍යයක් කළහ. ඔහුට ඇසු ඇසු බණපදය අමතක වී ගියද ඒවාගේ අදහස් ඔහුගේ සිතෙහි රැදෙයි. එයින් ඔහුට ධර්මය අවබෝධ විය. ඔහු සෝවාන් ඵලයට පැමිණියේ ය. ඔහු පසු දින බුද්ධ ප්‍රමුඛ මහාසංඝයා වහන්සේ සමඟ ම නිවසට ගියේ ය. සිටුතුමා ඔහු දැක, “අද මාගේ පුත්‍රයාගේ ආකාරය යහපතැ’යි සිතුවේය. කාළ ද “අද බුදුරදුන් ඉදිරියේ මට මුදල් නොදුන හොත් යෙහෙකැයි” සිතී. ඔහු එසේ සිතුයේ බුදුරදුන් කාරණය දැන ගන්නවාට ලැජ්ජාවෙනි. භාග්‍යවතුන් වහන්සේ කාරණය දන්නා බව ඔහු නො දනී. සිටුතුමා බුදුපාමොක් සඟනට කැඳ පිළිගන්වා පුත්‍රයාටද කැඳ දෙවීය. ඔහු කිසි කථාවක් නොකොට කැඳ බීවේය. කැවිලි හා බත් ද අනුභව කළේය. සිටුතුමා කහවනු පොදිය ඔහු ඉදිරියේ තබා “දරුව, මම නුඔට දහසක් දෙන්නට පොරොන්දු වී පෙහෙවස් වැස බණ ඇසීමට විහාරයට යැවිමි. නුඹ එය කළ නිසා මේ කහවණු දහස ගනුව’යි කීය. ඔහු බුදුරදුන් ඉදිරියේ මුදල් දීම ගැන ලජ්ජාවට පත්ව ඒවා නො ග ත්තේ ය. “ගනුව දරුව” යි නැවත නැවත කීව ද නො ගත්තේය. එකල්හි සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ වැඳ පුත්‍රයාගේ ප්‍රවෘත්තිය උන් වහන්සේට සැල කෙළේය. එකල්හි තථාගතයන් වහන්සේ “සිටාණෙනි, අද ඔබ පුත්‍රයාට චක්‍රවර්ති රාජසම්පත්තියට ද දිව්‍යබ්‍රහ්ම සම්පත්තිවලට ද වඩා සෝවාන් ඵලය අගනේය’ යි වදාරා මේ ගය වදාළ සේක.

“පථව්‍යා එකරජ්ජෙන - සග්ගස්ස ගමනෙන වා
සබ්බලොකාධිපච්චෙන - සොතාපත්තිඵලං වරං”

(ධම්මපදට්ඨකථා)

“මුළු පොළොවට ම ඉසුරු සක්විතිරජකම ලැබීමට ද, සවිසි ස්වර්ගලෝකයන්හි උපත ලැබීමට ද මුළුලොවට ම අධිපති වීමට ද වඩා සෝවාන් ඵලය උසස් ය” යනු එහි තේරුම ය. සෝවාන් ඵලය මෙතරම් උසස් වන්නේ එය ලැබු පුද්ගලයා සතර අපායෙන් මිදුණු පුද්ගලයකු වන බැවිනි. පෘථග්ජන පුද්ගලයා සක්විති රජව සිටිය ද, ශක්‍රව බ්‍රහ්මව සිටිය ද, භවාග්‍රයට පැමිණ සිටිය ද අපායට බරව සිටින්නෙකි. එබැවින් ඒ සම්පත් සෝවාන් ඵලය තරම් උසස් නැත. ධර්මය මෙසේ උසස් වන බැවින් සක්විති රජය වුව ද හැර, ධර්මය ස්වසන්තානයෙහි ඇති කර ගැනිම සුදුසු ය. අන්‍යයකු රජකමින් බැහැර කර වුව ද, ධර්මයෙහි පිහිටවීම සුදුසු ය. ඒ ධර්මයේ ඇති ඒහිපස්සික ගුණය ය.