ජිවිත පරිත්‍යාගයෙන් මහණදම් පිරූ භික්සුන් තෙනමක්

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පස් උන් වහන්සේගේ සම්මුඛශ්‍රාවකයන්ගෙන් පැවිද්ද ලැබු කුලපුත්‍රයෝ තිදෙනෙක් චාරිත්‍රාකුලව කමටහන් ගෙන ප්‍රත්‍යන්තයෙහි එක් අරණ්‍යයක වෙසෙමින් මහණ දම් පිරූහ. උන් වහන්සේලා අතරින්පතර කාශ්‍යප බුදු රදුන්ගෙන් ස්වර්ණ වෛත්‍යය වැඳිම පිණිස හා දහම් අසනු පිණිස නගරයට ගියහ. පසු කාලයේ දී එපමණකටද අරණ්‍යයෙන් බැහැර වීමට නො කැමැත්තාහු එහිම අප්‍රමාදව මහණදම් පුරමින් විසූහ. එහෙත් උන් වහන්සේගෙන් එක් නමකට ද විශේෂාධිගමනයක් නොවීය. විශේෂාධිගමනයක් නොලැබු උන් වහන්සේලා සිතන්නාවූ “පිඬු පිණිස බැහැර යන්නා වූ අපි ජිවිතයෙහි අපේක්ෂාව ඇත්තෝ වෙමු. ජිවිතාශාව ඇතියවුන්ට ලෝකෝත්තර ධර්මයන් ලැබීමට දුෂ්කරය. පෘතග්ජන මරණය නපුරුය. අප විසින් ජීවිතයෙහි හා කයෙහි අපේක්ෂාව හැර හිනිමගක් බැඳ මේ පර්වතයට පෘථග්ජන භාවයෙන් නො බස්නා පරිදි නැග මහණ දම් පිරිය යුතුය’යි සිතා තිදෙනා වහන්සේ කථාකරගෙන සම සිතින් හිණිමඟක් බැඳ පර්වතයට නැඟ හිණිමඟ පෙරළා දමා ජිවිතාශාව හැර මහණ දම් පුරන්නට පටන් ගත්හ. ඒ තෙනමගෙන් වැඩිමහලූ තෙරණූවෝ හේතු සම්පත් ඇත්තාහු එදින ෂඩහිඥා ද ඇතිව අර්හත්ඵලයට පැමිණ වදාළහ. උන් වහන්සේ පසු දින ඍද්ධියෙන් හිමාලයට වැඩම කොට අනවතප්ත විලෙන් මුවසෝදා උතුරුකුරු දිවයිනෙහි පිඬු සිඟා වළදා නැවත ද පිඬු සිඟා ගෙන අනෝතත්තවිලේ දිය නා නාගලතා දැහැටි ද ගෙන ඉතිරි දෙනම වෙත ගොස් “ඇවැත්නි, මාගේ ආනුභාවය බලව්, මේ උතුරුකුරු දිවයිනෙන් ගෙනා පිණ්ඩපාතය ය. මේ අනෝතත්තවිලේ ජලය ය. මේ නාගලතා දැහැටිය. මේවා පරිභෝග කොට ඔබ වහන්සේලාට මහණදම් පුරත්වා! මම මෙසේම ඉදිරියටත් ඔබ වහන්සේලාට උපස්ථාන කරමිය’යි කීය. එකල්හි උන් වහන්සේලා “ස්වාමිනි, ඔබ වහන්සේ ශ්‍රමණකෘත්‍යය නිම කර ගෙන සිටින්නහුය. නුඔ වහන්සේ හා කථා කිරිමත් අපට පළිබෝධයක. ඒ නිසා නුඔ වහන්සේ අප වෙත නො එන සේක්වා’යි කීහ. වැඩිමහළු තෙරුන් වහන්සේ නැවත නැවතත් කී නමුත් උන්වහන්සේලා ඒ බොජුන් නො පිළිගත්හ. ඒ දෙනමගෙන් එක් නමක් දෙතුන් දිනකින් අනාගාමී ඵලයට පැමිණ පඤ්චාභිඥා ලැබුයේ ය. උන්වහන්සේ ද එසේ කළහ. ඉතිරි තෙරණුවෝ පෙර සේ ම ඒවා ප්‍රතික්ෂේප කොට මඟඵල ලැබිමට උත්සහ කරන්නාහු හේතු සම්පත් මඳ බැවින් සත්වන දිනයේ පෘතග්ජන කාලක්‍රියාවෙන් ම කාලක්‍රියා කොට දෙව්ලොව උපන්හ. රහත් වූ තෙරුන් වහන්සේ එදින ම පිරිනිවන් පා වදාළහ. අනාගාමී තෙරුන් වහන්සේ කලූරිය කොට ශුඬාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්හ. දෙව්ලොව උපන් තෙරණුවෝ දෙව්ලොවින් දෙව්ලොව උපදමින් සිට අප බුදුරදුන්ගේ කාලයෙහි මිනිස්ලොව ඉපිද සභිය නමින් පිරිවැජියෙක්ව බුදුරදුන් වෙත එළඹ ප්‍රශ්න අසා පැහැදි බුදුසස්නෙහි පැවිදිව අර්හත්ඵලයට පැමිණියහ.

(සුත්තනිපාතට්ඨකථා)

පර්යාප්තිධර්මය ද අන් සියලූ වැඩ නවත්වා කිනම් පරිත්‍යාගයක් වුව ද කොට කිනම් වෙහෙසක් වුව ද විඳ අසා දැනගැනීම වශයෙන් ස්වකීය සන්තානයට පමුණුවා ගැනීම සුදුසු ය. එහි ද ඕපනයික ගුණය ඇත්තේය. අතීතයෙහි ඇතැම්හු ධන ජිවිත පරිත්‍යාගයෙන් ද ධර්මය ශ්‍රවණය කළහ. දහම්සොඬ රජතුමා ධර්මශ්‍රවණය සඳහා රජය හා ජිවිතය ද පරිත්‍යාග කෙළේය. ගවරවාළඅංගණ නම් ස්ථානයේහි අදුරේසිට දහම් ඇසු එක් භික්ෂුවක් නපුරු සර්පයකු විසින් දෂ්ට කරන ලද්දේය. භික්ෂුව කිසිවකුට ඒ බව නො දන්වා සර්පයා අල්වා ථවිකයකලා බැඳ තබා කිසි ප්‍රතිකාරයක් නො කොට එළිවන තුරු දහම් ඇසීය. “දීඝවාපියේ මහාජාතකභාණක තෙරුන් වහන්සේ ගාථා දහසකින් යුත් වෙස්සන්තර ජාතකය දේශනය කෙරෙති’යි අසා තිස්සමහා විහාරවාසී තරුණ භික්ෂුවක් එක් දිනකින් ම නවයොදුන් මඟ ගෙවා පා ගමනින් ම දහම් ඇසීම සඳහා එහි ගියේ ය. උල්ලභකෝලකණ්ණිකා නම් ස්ථානයෙහි විසූ ස්ත්‍රියක් “දීඝභාණක මහා අභය තෙරණුවෝ ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාව දේශනය කෙරෙති’යි අසා පා ගමනින් ම පස්යොදුන් මඟ ගෙවා ගොස් දවල් කාලයේ ම එහි පැමිණ එතැන් පටන් පසු දින අරුණෝදය දක්වා දහම් ඇසීය. කාළුම්බර නම් ගමෙහි කාන්තාවක් සිතුල්පව් වෙහෙරට බණ අසනු සඳහා ගොස් ගසක් මුල දරුවා නිදිකරවා සිට ගෙන ම බණ ඇසුවා ය. ඇය බලා සිටියදී ම සර්පයකු පැමිණ ඇගේ දරුවා දෂ්ට කර ගියේ ය. ඕ තොමෝ කිසිදු කලබලයක් නො කොට එළිවනතුරු දහම් අසා සෝවාන්ඵලයට පැමිණ සත්‍යක්‍රියාවෙන් පුත්‍රයා ද සුවපත් කර ගත්තාය.

(මේ කථා මනෝරථපූරණියෙන් ගන්නා ලදී)

මේ පර්‍ය්‍යාප්ති ධර්මය කිනම් පරිත්‍යාගයක් වුවද කොට ස්වසන්තානයට පමුණුවා ගැනිමට නොහොත් දැන ගැනීමට සුදුසු වන්නේ එහි පිහිටා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබිය හැකි බැවිනි. පර්‍ය්‍යාප්තිය ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන ශාසන තුනෙන් ප්‍රතිපත්තිය නැතහොත් ප්‍රතිවේධය නො ලැබිය හැකිය. පර්‍ය්‍යාප්තිය නැතහොත් ප්‍රතිපත්තිය නො පිරිය හැකිය. එබැවින් පර්‍ය්‍යප්තිය ශාසනයේ මූලය වේ.

මේ දිවයිනට චණ්ඩාලතිස්ස මහාභය පැමිණි කල්හි සක්දෙව්රජු මහපසුරක් නිර්මාණය කර ඉදිරියට මහත් භයක් හට ගත්නේය, වැසි නො ලැබි යන්නේය, ප්‍රත්‍යය නො ලැබීමෙන් වෙහෙසට පත්වන කල්හි භික්ෂුහු වහන්සේට පර්‍ය්‍යාප්ති ධර්මය රැකගන්නට නො පිළිවන් වන්නේය. එබැවින් ආර්‍ය්‍යයන්වහන්සේලාට පරතෙරට ගොස් දිවි රැකගැනීම සුදුසු ය. නුඹ වහන්සේලා මේ මහපසුරට නැඟ පරතෙරට යෙත්වා’යි භික්ෂුන්ට දැන්වීය. පරතෙර යනු සඳහා වෙරළට රැස් වූ භික්ෂුන්ගෙන් සැටනමක් “පරතෙර යාමෙන් අපට කම් නැත,” අපි මෙහි ම වෙසෙමින් ත්‍රිපිටකධර්මය රැකගමු’ යි කථා කරගෙන දකුණු මලය ජනපදයට ගොස් අල කොළ ආදියෙන් දිවි රකිමින් විසූහ. උන්වහන්සේලා ශරීර ශක්තිය ඇති කල්හි වාඩීවී ත්‍රිපිටකය සජ්ක්‍ධායනා කළහ. වාඩිවී සිටිමට තරම් පණ නැති කල්හි කීපනම බැගින් එකතුව හිස් ළං ළංව සිටිනා පරිදි වැලිගොඩවලට හිස තබා නිදමින් ධර්මය මෙනෙහි කළෝ ය. ඒ ක්‍රමයෙන් උන් වහන්සේලා දෙළොස් වසක් මුළුල්ලෙහි අමතක වන්නට නො දී අටුවා සහිත පිටකත්‍රය රැක ගත්හ. පරතෙර ගිය සත්සියයක් භික්ෂුන් වහන්සේ ද එසේ ම අටුවා සහිත තෙවළාදහම ආරක්ෂා කරගෙන ලක්දිවට ගොඩ බැස කල්ලගාම ජනපදයෙහි මණ්ඩලාරාම විහාරයට වැඩම කළහ. ඒ බැව් ඇසූ ලක්දිව නැවතුණු භික්ෂුන් වහන්සේ සැටනම උන්වහන්සේලා දක්නට මණ්ඩලාරාම විහාරයට ගොස් දෙපක්ෂය එකතුව ත්‍රිපිටකධර්මය සජ්ක්‍ධායනය කරමින් පාඩම් ඇති සැටි සසඳ බැලූහ. එකපදයකු දූ වෙනස් නොවී දෙපක්ෂය කෙරෙහි ම ත්‍රිපිටක ධර්මය සමව පැවැත්තේය.

ඒ රැස්වීමේදී තෙරුන් වහන්සේලා අතර “ශාසනයේ මුල පර්‍ය්‍යාප්තිය ද නැතහොත් ප්‍රතිපත්තිය ද? යන ප්‍රශ්නය ඇතිවිය. පාංශුකූලික ස්ථවිරවරු ප්‍රතිපත්තිය ශාසනයේ මූලය’යි කීහ. ධර්මකථිකයෝ “පර්‍ය්‍යාප්තිය ශාසනයේ මූලය’යි කීහ. සෙසු තෙරුන් වහන්සේලා“ ඔබ වහන්සේලාගේ කීම්මාත්‍රය නො පිළිගත හැකිය. ජිනහාසිත සුත්‍ර දක්වා තමන් තමන්ගේ කීම් ඔප්පු කරන්නය’යි කීහ.

“ඉමෙ ච සුභද්ද භික්ඛු සම්මා විහාරෙය්‍යුං
අසුඤ්ඤා ලොකො අරහන්තෙහි”

යන පාඨය පාංශුකුලික ස්ථවිරවරු ගෙන හැර දැක්වූහ. එකල්හි ධර්මකථිකයෝ-

“යාව තිට්ඨන්ති සුත්තන්තා - විනයො යාව දිප්පති,
තාව දක්ඛින්ති ආලොකං - සුරියෙ අබ්භුට්ඨීතෙ යථා.

-

සුත්තන්තෙසු අසන්තෙසු - පම්මුට්ඨෙ විනයම්භි ච
තමො භවිස්සති ලොකස්ස - සුරියෙ අත්ථංගතෙ යථා.

-

සුත්තන්තෙ රක්ඛීතෙ සන්තෙ - පටිපත්ති හොති රක්ඛිතා
පටිපත්තියං ඨීතො ධීරො - යොගක්ඛෙමා න ධංසතී”

යන මේ සුත්‍රය දැක්වූහ. එකල්හි පාංශුකූලිකයෝ තුෂ්ණිම්භූත වූහ. ධර්මකථිකයන්ගේ කීම ම මතු වී සිටියේ ය.

(මනොරථපූරණී)