18. ඤයපටිපන්න ගුණය

ඤාය යනු නිවනට නමෙකි. නිවන පිණිස නිවනට අනුව ඒකාන්තයෙන් නිවනට පමුණුවන අධිශීල-අධිචිත්ත-අධිප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්තිය පුරන බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඤායපටිපන්න නම් වෙති.

ලෝකයෙහි ඇති සෑම දෙයක්ම උපදවා ගැනීමට ලබා ගැනිමට කළ යුතු ඒ ඒ දෙය ලැබීමට නිසි, වෙන් වෙන් වූ වැඩ ඇත්තේ ය. වැලි මිරිකා තෙල් ලැබිය නො හෙන්නාක් මෙන් යම් කිසිවක් ලැබීමට අනිසි දෙයක් කිරිමෙන් ඒ දෙය නො ලැබිය හැකිය. කිනම් දෙයක් හෝ කිරිමෙන් කිනම් ප්‍රතිපත්තියක් හෝ පිරීමෙන් නිවන් නො ලැබිය හැකිය. නිවන් ලැබීමට නිවන් ලබා දෙන එයට නිසි ප්‍රතිපත්තියක් ඇත්තේ ය. එය පිරිමෙන් මිස අන් ක්‍රමයකින් නිවන් නො ලැබිය හැකිය. කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානූයෝගය නිවන් ලැබීමට නිසි ප්‍රතිපත්ති නො වන බැවින් නිවන් නො ලැබිය හැකිය. නිවන් ලැබිමට නිසි නිවන් ලැබිමේ ප්‍රතිපත්තිය තේරුම් ගත හැකි වීමට නිවන හා සංසාරප්‍රවෘත්තියේ හේතු ද සාමාන්‍යයෙන් දත යුතුය. සත්ත්වයා මරණින් කෙළවර වන්නේ නො වේ. මැරෙන සත්ත්වයන් අන් තැනක උපදී. එතැන ද මැරී අන් තැනක උපදී. එතැන ද මැරී තවත් තැනක අපදී. මෙසේ නැවත නැවත ඉපදීම මැරීම් වශයෙන් ස්කන්ධ පරම්පරාව පැවැත්ම මහත් වූ දුඃඛයෙකි. “නිවනය”යි කියනුයේ දුඃඛස්කන්ධයක් වන ඒ ස්කන්ධය පරම්පරාවේ නැවැත්මය, නිවීමය. සන්සිඳීමය. ඒ සන්සිඳීම වූ නිවන ලැබිය හැක්කේ එයට පැමිණිය හැක්කේ, යම් හේතුවකින් ස්කන්ධය පරම්පරාව නො සිඳ දිගින් දිගට යේ ද ඒ හේතුව නැති කිරිමෙනි. ස්කන්ධපරම්පරාවේ නො සිඳී පැවැත්මට හේතුව සත්කායදෘෂ්ටිය-අවිද්‍යාව-තෘෂ්ණාව යන මොවුන්ගේ පැවැත්මය. ඒ ධර්ම පවත්නා තුරු සංසාරප්‍රවෘත්තිය නො නවති. යම් ප්‍රතිපත්තියකින් ඒ ධර්මයන් ප්‍රහාණය කළ හැකි වේ නම් ඒ ප්‍රතිපත්තිය නිවන් ලැබිමේ මාර්ගය ය. ඒ ප්‍රතිපත්තිය නම් අධිශීල - අධීචිත්ත - අධිප්‍රඥා යන ශික්ෂාත්‍රය ය. තවත් ක්‍රමයකින් කියත හොත් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ය. නිවන් ලැබිම සඳහා තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට දක්වා ඇත්තේ ඒ ප්‍රතිපත්තිය ය. ඒ ප්‍රතිපත්තිය ඒකාන්තයෙන් නිවනට පමුණුවන නිවනට ගැලපෙන ප්‍රතිපත්තියක් වන බැවින් සක්දෙව්රජු විසින් ද මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ය.

‘සුපඤ්ඤත්තා ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා, සංසන්දති නිබ්බානං චෙව පටිපදා ච, සෙය්‍යථාපි නාම ගංගොදකං යමුනොදකෙන සංසන්දති, සමෙති. එවමෙව සුපඤ්ඤත්තා තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනීපටිපදා සංසන්දති, නිබ්බානං පටිපදා ච”

(මහාගොවින්ද සුත්‍රය)

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට නිර්වාණගාමිනී ප්‍රතිපත්තිය දක්වන ලද්දේ ය. යම් සේ ගංගෝදකය යමුනෝදනය හා සැසඳෙන්නේ ද, එමෙන් නිර්වාණය හා ප්‍රතිපත්තිය සැසඳෙන්නේ ය” යනු එහි අදහස ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සෙගේ ශ්‍රාවකයෝ ඒ අනුකූල ප්‍රතිපත්තිය පුරා නිවන් ලබන්නාහ.