හිසකේ විකුණා දන් දුන් කාන්තාවක්

මහාකච්චාන මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ සත් නමක් හා උජ්ජේනි නුවරට වඩනා සේක්, ‘තේලප්පනාළි’ නම් නියම් ගමකට පිඬු සිඟා වැඩි සේක. එගම සිටු දූවරු දෙදෙනෙක් වූහ. එකියක් පිරිහුණු සිටු පවුලක උපත ලබා මා පියන්ගේ ඇවෑමෙන් පසු කිරි මවකගේ උපකාරයෙන් ජිවත් වන දිළිඳු තරුණියකි. ඇගේ ශරිරය හොදින් වැඩි තිබිණ. ඇගේ හිසකේ අන්‍යයන්ගේ හිසකේ වලට වඩා දික් විය. අනික් සිටු දුව මඳකෙස් ඇත්තියකි. ඕ දුප්පත් තරුණියගේ හිසකේ ටික මිලයට ගැනිම සඳහා දහසකට වුවද ගනිමි’ යි කියා දූතයන් එවුවා හ. එහෙත් දිළිඳුව තමාගේ හිසකේ නො වික්කාය. ඕ තෙමෝ එදා භික්ෂුන් සත් නමක් හා හිස් පාත්‍ර ඇතිව වඩනා මහාකච්චාන තෙරුන් වහන්සේ දැක ‘රන්වන් සිරුර ඇති බ්‍රහ්මණ භික්ෂුවක් හිස් වූ පාත්‍රය ඇතිව වැඩම කරන්නේ ය, මුන් වහන්සේට සංග්‍රාහ කිරිමට මට කිසි ධනයක් නැත. අසවල් ගෙදර සිටු දුව මාගේ හිසකේ මිලයට ගැනිමට දූතයන් එවන්නිය, මාගේ මේ හිස කෙස් ටික කපා ඇය වෙත යවා එයින් ලැබෙන මිළයෙන් මුන්වහන්සේට දන්දිය හැකිය’ යි සිතා කිරිමව යවා ආරාධනා කරවා සිය නිවසට තෙරුන් වහන්සේ වැඩමවා ගත්තාය. උන්වහන්සේලාට වැඩ සිටිමට අසුන් පනවා දී ඕ කාමරයකට පිවිස කිරිමව ලවා තමාගේ කෙස් කළඔ කපවා ‘මෑණියෙනි, මේ කෙස් අසවල් සිටු දුවට දී ආර්‍ය්‍යයන් වහන්සේට දන් දීම සඳහා ඇය දෙන දෙයක් ගෙනෙනු මැනව’යි කීවා ය. කිරිමව මහත් ශෝකයෙන් එක් අතකින් කඳුළු පිසමින් අනික් අත පපුවෙහි තබා ගෙන තෙරුන් වහන්සේලාට නොපෙනෙන සේ කෙස් කළඔ ගෙන සිටු දූ වෙත ගියාය. වෙළඳ බඩුව කොතෙක් අගය ඇතියක් වුවද විකුණා ගැනිමට වූවමනා වී අනිකකු වෙත ගෙන ගියහොත් එහි අගය අඩු වේ. ඇගේ කෙස් කළඔටත් එය සිදුවිය. පොහොසත් සිටුදුව සිතන්නී ‘කලින් මේ කෙස් කළඔ දහසකින් ද ගෙන්වා ගත නොහැකි විය. යම් කිසි තැනකට ගෙනෙන ලද ජිව කේශ කලාපයක් වටින්නේ කහවනු අටකි’ යි සිතා කිරිමව අමතා ‘තිගේ ස්වාමි දූ මේ කෙස් කලින් මට බොහෝ ධනයටත් නුදුන්නී ය. කැපිමෙන් පසු දැන් මේවා වටින්නේ කහවනු අටක් පමණි. ඒ නිසා මේ කහවනු අට ගනුව’යි කියා අටකහවණුවක් දුන්නීය. කිරිමව කහවණු ගෙනවුත් සිටුදුවට දුන්නි ය. සිටු දූ එක් එක් නමකට කහවණුවක් අගනා පරිදි පිණ්ඩපාතය පිළියෙල කරවා තෙරුන් වහන්සේලාට දෙව්වාය. තෙරුන් වහන්සේ ඒ දානය දෙවූ සිටුදුවගේ උපනිඃශ්‍රය සම්පත්තිය දැක ‘සිටුදූ කොහිදැ’යි විචාළහ. ‘ස්වාමීනි, කාමරයේය’යි කිරිමව කීවා ය. ‘ඇය කැඳවන්න’ යයි තෙරුන් වහන්සේ කීහ. හිසකේ නැතිව කෙනෙකු ඉදිරියේ පෙනී සිටීමට තරුණ කතකට මහත් ලජ්ජාවක් ඇත ද ඔ තෙරුන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් එක් වචනයටම ගැබින් නික්ම අවුත් තෙරුන් වහන්සේලාගේ පා වැඳ මහත් වූ ශ්‍රඬාවක් ඇතිකර ගත්තා ය. ඒ තෙරුන් වහන්සේලා සම දෙනම රහතන් වහන්සේලා ය. යහපත් පින් කෙතෙහි පිහිට වූ පිණ්ඩපාතයේ විපාක ඒ භවයේදිම ලැබෙන්නේය. තෙරුන් වහන්සේලාගේ පා වඳිනු සමඟම ඇගේ හිසකේ පළමු තුබූ පරිදිම විය. ඉක්බිති තෙරුන් වහන්සේලා ඇය බලා සිටියදීම අහසට නැඟ ගොස් උජ්ජේනි පුරයේ වණ්ඩප්පජ්ජෝත රජුගේ කඤ්චන වන නම් උයනෙහි බැස ආහාර වැළඳූහ. උයන් ගොව්වා තෙරුන් වහන්සේ දැක හැඳින වහා රජු වෙත ගොස් ‘දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ පුරෝහිත කච්චාන බ්‍රාහ්මණ පැවිදිව දැන් උයනට පැමිණ ඇතැ’යි දැන්වීය. රජු ඉමහත් සතුටට පැමිණ එකෙණෙහි උයනට ගියේය. ඉක්බිති තෙරුන් වහන්සේ වැඳ ‘භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ නො වැඩ මා මෙහි එවූ සේකැ’ යි තෙරුන් වහන්සේ වදාළහ. ‘ස්වාමීනි, අද අහර වැළඳූ සේක්දැ’ යි රජු විචාළේය. එකල්හි තෙරුන් වහන්සේ වළඳා අවසන් වී ඇති බවත් එදා පිණ්ඩපාතය දුන් සිටු දුවගේ පුවතත් රජුට කීහ. රජතුමා තෙරුන් වහන්සේලාට වාසස්ථාන පිළියෙල කරවා පෙරළා ගොස් සිටු කුමරිය ගෙන්වා අගමෙහෙසුන් තන්හි තබා ගත්තේය. රහතන් වහන්සේ කෙරෙහි පිරි නැමූ දානයේ විපාක ඇයට එසේ ඒ ආත්මභාවයේදී ම ලැබුණේ රහතන් වහන්සේලාගේ ගුණස්කන්ධයේ මහත්වය නිසා ය. දන් දුන්නවුන්ට එකෙණෙහි ම ඵල ලැබිමට හේතුවන ගුණස්කන්ධයක් ඇති බැවින් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා අග්‍රදක්ෂිණාර්භයෝය.