දුක්ඛ සත්‍යය

“ඉදං ඛො පන භික්ඛවේ, දුක්ඛං අරියසච්චං, ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා ව්‍යාධි පි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”

(ධම්මචක්කප්පවත්තන සුත්‍රය)

‘මහණෙනි, මේ දුඃඛාර්ය සත්‍යය ය. භවයෙහි ඉපදීම ද දුකෙක, උපන්නහුගේ ශරීරය දිරීම ද දුකෙක, නානා ව්‍යාධීන් හට ගැනීම ද දුකෙක, මරණය ද දුකෙක, අප්‍රිය වස්තු අප්‍රිය පුද්ගලයන් හා එක්වීම ද දුකෙක, ප්‍රියවස්තු ප්‍රියපුද්ගලයන්ගෙන් වෙන්වීම ද දුකෙක, වුවමනා දෙය නො ලැබීම ද දුකෙක, කොටින්ම උපාදානස්කන්ධ පඤ්චකය දුකෙක’ යනු එහි තේරුම ය.

මව පියා දුව අයියා මල්ලී අක්කා නංගී ගැහැණිය පිරිමියා මිනිහා ළමයා තරුණයා සීයා මහත්මයා නෝනා දෙවියා මිනිහා බල්ලා බළලා යනාදි නොයෙක් නම් වලින් කියවෙන්නේ, රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන නාමරූප සමූහයන් ය. මා පිය දූපුත් ආදි සත්වයන් වශයෙන් සලකන දෙය, විභාග කර බැලූවහොත් එහි රූප වේදනාදි නාමරූප ධර්ම හැර අන් කිසිවක් නො ලැබෙන්නේ ය. එක් එක් භවයට පළමුවෙන් රූප වේදනාදීන් පහළවීම භවයෙහි ඉපදීම ය. උපන්නහුට බොහෝ දුක් ඇති වන්නේය. නූපදිහොත් කිසි දුකක් නැත. ‘සියලූ දුකට මුල් වන බැවින් ඉපදීම දුකය’ යි තථාගතයන් වහන්සේ වදාළහ. මේ ඉපදීමේ දුක මවුකුස පිළිසිඳගන්නා සත්වයන් සම්බන්ධයෙන් විශේෂයෙන් කිය යුතුය. මවුකුස පිළිසිඳගන්නා සත්වයාහට අත්පා නැතිව ඇස් කන් නාසා නැතිව දිවක් කටක් නැතිව මස්කැබැල්ලක් ලෙස කලක් මවු කුස හිරවී වාසය කරන්නට සිදුවේ. අත්පා ආදිය ඇතිවු පසුත් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් ගත නො හැකිව ඇස් කන් නාසා වලින් කිසිදු ප්‍රයෝජනයක් ගත නො හැකිව කලක් ඉතා දුකසේ මවු කුස හිර වී සිටින්නට සිදු වේ. කලක් එසේ සිට ඔහු ඉතා දුකසේ දැඩි වේදනා විඳිමින් මවු කුසින් හඩමින් බිහි වෙයි. ප්‍රිතියෙන් මවු කුසෙන් බිහිවීමක් නැත.

උපන්නහුගේ ශරීරය දිරා යාම ජරාදුඃඛ ය. උප්පත්තියේ පටන්ම මේ දිරීම සිදුවෙතත් එය ප්‍රකට වන්නේ කලක් ගතවීමෙනි. පෙනීම හීනවීම, ඇසීම හීනවීම, දුබල වී තමාගේ ශරිරය පාලනය කර ගත නොහෙන තත්වයට පත්වීම, හිසකේ රැවුල පැසී දත් ගැලවී ඇඟරැළි වැටී නහර මතු වී විරූප වී සෙස්සන්ගේ පිළිකුලට භාජනය වීම යනාදිය ජරා දුක්ඛ ය.

උප්පන්නහුගේ ශරිරයේ හටගන්නා රෝගයේ ඉතා බොහෝ ය. ශරීරය රෝගයන්ගේ උප්පත්ති ස්ථානයය. රෝග නො වැළඳෙන තැනක් සිරුරෙහි නැත. හිසරදය, කන්කැක්කුම, දත්කැක්කුම, ඇස්වල කාච පටල, ඇස්රුදාව, කනෙහි පිළිකා, හකුයෙහි උගුරෙහි පපුවෙහි බඩෙහි පිළිකා, නොයෙක් තැන හට ගන්නා තද වේදනා දෙන ගෙඩි, වණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස, උණ, වමණය, අතීසාරය, හතිය, මලමුත්‍ර හිරවීම, මුත්‍ර බොක්කේ ගල්, ගූදමාර්ගයේ ගෙඩි, ක්‍ෂයරෝගය, පක්ෂාඝාතය, සිහිවිකලවීම යනාදිය පඤ්චස්කන්ධය පිළිබඳ ව්‍යාදි දුඃඛ ය ය.

උපදනා කිසිම සත්වයෙකුට සැමදා ජීවත් විය හැක්කේ නො වේ. දිවි කෙළවර වන දිනයක් සැමටම එන්නේ ය. මරණයෙන් සෑම පුද්ගලයෙකුටම තමන් ඇලූම් කර ගෙන සිටින ධනයෙන් දූ දරුවන්ගෙන් නෑ මිතුරන්ගෙන් වෙන් වන්නට සිදු වේ. ජීවත් වීමට ආශාව තිබියදීම දිවි කෙළවර වේ. එයද සත්වයා හට ඉවසිය නො හෙන මහත් දුකෙකි. සත්ත්වයා අන්සියල්ලටම වඩා නො කැමති වන බිය වන ඒ මරණය ලෙහෙසියෙන් සිදු වන්නේ ද නො වේ. එය සිදු වන්නේ සෙම නැඟී අවුත් අශ්වාස ප්‍රාශ්වාස මාර්ගයන් අවුරා මලමුත්‍ර දොට්ට විසි වන තරමේ බලවත් වේදනා ඇති කරවීමෙනි. එබැවින් එය ඉතාම භායානක දුක ය.

ලෝකයෙහි ජීවත්වන තැනැත්තාට අහිත වු දිය ගිනි සුළංවලින් ද ගල් මුල් කටු ආදියෙන් ද නොයෙන් විට පීඩා ඇති වන්නේ ය. උකුණු මකුණූ මැසි මදුරු පත්තෑ ගෝණුසු ආදි කුඩා සතුන්ගේන් ද අව්වෙන් වැස්සෙන් පින්නෙන් ශිතලෙන් ද කරදර පැමිණෙන්නේ ය. නයි පොළොං කොටි වලස් ආදි නපුරු සතුන් ගෙන් ද නොයෙක් පීඩා වන්නේ ය. කාටවත් කිසිවරදක් නොකරණ අනුන්ට යහපතම කරණ සත්පුරුෂයෙකුටද වුවද රිදවීමට ඔහුගේ තත්වය පහළ දැමීමට නොයෙක් ආකාරයෙන් බණිති, නොයෙක් චෝදනා කරති. කිසි වරදක් නැති තැනැත්තා වරදට හසු කොට දඬුවම් ලබා දෙති. රැකියාවෙන් තනතුරෙන් පහ කරවති. සමහර විට අත් පා වලින් ආයුධ වලින් පහර දෙති. දුකසේ සපයා ගෙන ඇති වස්තුව සොරකම් කර ගනිති. දේපල විනාශ කරති දූදරුවන්ට කරදර කරති. මේවා ජීවත් වන්නහුට ලැබෙන අප්‍රියසම්ප්‍රයෝග දුක් ය.

ලෝකයෙහි ස්ථිර කිසිවක් නැත. අමාරුවෙන් සපයා ගෙන ඇති, නැතිවම බැරි ඉතා ප්‍රයොජනවත් වස්තු වන ඇඳුම් පැළඳුම් හා නොයෙක් පරිභෝග භාණ්ඩ ද යාන වාහන හා ගෙවල් ද තවත් නොයෙක් ප්‍රිය වස්තූහු ද දිරීමෙන් හෝ සොර සතුරන්ට හසු විමෙන් හෝ නැති වී යති. එද මිනිසාට වන මහත් දුකකි. මාපියන්ට ප්‍රාණය මෙන් ප්‍රිය දු දරුවෝ ඔවුන් බලා සිටියදී නැසෙන්නාහ. හිමියන්ට ප්‍රාණය සේ ප්‍රිය බිරියෝද බිරියන්ට ප්‍රිය සැමියෝ ද නැසෙන්නාහ. සහෝදර සහෝදරියෝ නැසෙන්නාහ. නෑ මිතුරෝ නැසෙන්නාහ. සමහර විට බිරියන් හැර දූ දරුවන් හැර සැමියෝ පළා යන්නාහ. සමහර විට අන් පුරුෂයන් හා එක්තුව බිරියෝ පළා යන්නාහ. දු දරුවන් පළා යන්නාහ. මේ සසර සැරිසරණ සත්ත්වයනට ඇති වන ප්‍රිය විප්‍රයෝග දුඃඛය ය.

සත්ත්වයනට ඇති වන ආශා ඉතා බොහෝ ය. හොඳ ආහාරයක් දුට කල්හි එයට ආශාව ඇති වේ. හොඳ ඇදුමක් දුටු කල්හි එයට ආශාව ඇති වේ. හොඳ වාහනයක් දුටු කල්හි එයට ආශාව ඇති වේ. හොඳ ගෙයක් වත්තක් කුඹුරක් දුටු කල්හි ඒවාට ආශාව ඇති වේ. අඹුවන් ගැන සැමියන් ගැන දූ දරුවන් ගැන ගරු බුහුමන් ගැන තනතුරු ගැන නොයෙක් දෑ දැකීම ඇසීම ගැන උත්සව පැවැතිවීම ගැන බොහෝ ආශාවල් ඇති වේ. ඒ ඇති වන ආශා සියල්ල මුදුන් පත් කර ගැනීමට, අශා කරන සියල්ල ලබා ගැනීමට ලෝකයෙහි කිසිම කෙනෙකුට නුපුළුවන් වේ. එක් එක් අයෙකුට ඇති වන ආශාවලින් මුදුන් පත් කර ගැනීමට හැකි වන්නේ ඉතා ස්වල්පයකි. කැමති වන දෙයින් ලබා ගත හැකි වන්නේ ඉතා ස්වල්පයකි. සාමාන්‍යයෙන් ඇති වන ආශාවන් මුදුන්පත් නො වීම එතරම් මහත් දුකක් නොවේ. එහෙත් ඇතැම් ආශාවන් මුදුන්පත් නො වීම ඉවසිය නො හෙන තරමේ මහ දුකකි. ඒ දුක ඉවසා සිටිය නොහැකි බැවින් ඇතැම්හු දිවි නසා ගනිති. ඇතැම්හු ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට ගොස් බැණූම් අසති ගුටිබැට කති. සිරගෙවලට වැටෙති ඇතැම්හු මැරුම් කති.

මව පියා පුතා දූ සැමියා බිරිය යනාදි පුද්ගලයන් වශයෙන් සලකන රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පඤ්චකය ඇති කල්හි ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රියසම්ප්‍රයෝග ප්‍රියවිප්‍රයෝග ඉච්ඡාවිඝාත යන දුක් ඇත්තේ ය. ඒවා ඇති කල්හි ශෝක පරිදේව දුඃඛ දෝමනස්ස උපායාසයෝ ද වන්නාහ. එහි ශෝක නම් ප්‍රිය විප්‍රයෝගාදිය නිසා සිතෙහි හටගන්නා ගින්න ය. එයින් සිත කය දෙකම දැවේ. පරිදේව යනු හැඬීමය. දුඃඛ යනු ශරිරයේ ඒ ඒ තැන්වල ඇතිවන රිදුම් ආදි නො ඉවසිය හැකි ස්වභාවයෝ ය. දෝමනස්ස යනු සිත් රිදුම ය. උපායාශ යනු පපුව වියළවන සමහර විට ජිවිතය ද නසන බලවත් සිත් වෙහෙස ය. එය බලවත් ශෝකයේ කෙළවර ඇති වන්නකි. ජාති ජරා ව්‍යාධි මරණාදිය පඤ්චස්කන්ධයෙහි මිස අන් තැනක නැත. ඒ දුක් උපදනා තැන - ඇති තැන පඤ්චස්කන්ධ ය. නුවණ මඳ ජනයා විසින් සැපයක් ලෙස හොඳක් ලෙස ආත්මයක් ලෙස සලකන, කියන ලද දුක්වලින් වැළඳ ගෙන සිටින පෙළන තවන දවන උපාදානස්කන්ධ පඤ්චකය නො හොඳක් බව ඒකාන්තයෙන්ම දුකක් බව කිසිවකුගෙන් උපදෙස් නො ලබා තමන් වහන්සේගේ නුවණින් තථාගතයන් වහන්සේ අවබෝධ කළ සේක.