ස්ථානාස්ථාන දන්නා නුවණ.
‘ඉධ සාරිපුත්ත තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතෝ ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති.’
(මහාසීහනාද සුත්ත)
මේ පාඨයෙහි ඨාන යන වචනයෙන් දක්වන්නේ ඒ ඒ කරුණු සිදුවීමේ ඒ ඒ දෙය ඇති වීමේ හේතුව ය. අට්ඨාන යන වචනයෙන් දැක්වෙන්නේ හේතු නොවන දෙය ය.
තථාගතයන් වහන්සේ ඒ ඒ දෙය සිදුවීමේ හේතු ද නිවරදි ලෙස දන්නාහ. එසේ ම අහේතු ද නිවරදි ලෙස දන්නාහ. ඒ හේතු අහේතු දෙක ඇති සැටියට ම නො වරදවා දන්නා නුවණ පළමුවන තථාගත බලය ය. ඒ බලයෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි අග්‍රස්ථානයට පැමිණ සිටින්නාහ. අටපිරිස මැද සිංහනාදය පවත්වන්නාහ. බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහ.
මේ ඥානයෙන් තථාගතයන් වහන්සේ සෝවාන් පුද්ගලයෙකු විසින් කිසි සංස්කාරයක් නිත්‍යය කියා ද සුඛය කියා ද ආත්මය කියාද වරදවා සිතා ගැනීමට කරුණක් නැති බව දන්නා සේක. පෘථග්ජනයකු විසින් නම් එසේ වරදවා සිතා ගැනීමට කරුණු ඇති බව දන්නා සේක. සෝවාන් පුද්ගලයෙකු විසින් මව මැරීමට පියා මැරීමට රහතුන් මැරීමට නපුරු සිතින් තථාගත ශරීරයෙහි ලේ මතුකිරීමට සංඝයා බිඳවීමට කරුණක් නැති බව දන්නාහ. පෘථග්ජනයකු විසින් එසේ කිරීමට කරුණු ඇති බව දන්නාහ. සෝවාන් පුද්ගලයකු විසින් භාවාන්තරයේ දී වුව ද බුදුරදුන් හැර අන්‍යයකු තමාගේ ශාස්තෲවරයා සැටියට පිළිගැනිමට කරුණක් නැති බව දන්නාහ. පෘථග්ජනයන්ට වනාහි අන්‍යයන් තමන්ගේ ශාස්තෘවරයා සැටියට පිළිගැනීමට කරුණු ඇති බව දන්නාහ. සෝවාන් පුද්ගලකුට සසර අටවන වරටත් ඉපදීමට හේතුවක් නැති බවත්, එක් ලෝකධාතුවක එකවර ලොවුතුරා බුදුවරයන් දෙනමක් පහළවීමට හේතුවක් නැති බවත්, එක් ලෝක ධාතුවක එකවර සක්විති රජුන් දෙදෙනකු පහළවීමට හේතු නැති බවත්, ස්ත්‍රිත්වයෙහි සිට ලොවුතුරා බුදු විය හැකි වීමට චක්‍රවර්ති රජ විය හැකිවීමට, ශක්‍රන්‍වය කළ හැකි වීමට මාරත්වය කළ හැකි වීමට බ්‍රහ්මත්වය කළ හැකි වීමට හේතුවක් නැති බවත් දන්නා සේක. කායදුශ්චරිත වාක්දුශ්චරිත මනෝදුශ්චරිත යන මේවායින් ඉෂ්ඨ විපාක ලැබිමට කරුණක් නැති බවත්, කායසුචරිත වාක්සුචරිත මනෝසුචරිත යන මේවායින් අනිෂ්ටවිපාක ලැබීමට කරුණක් නැති බවත් දන්නාහ. මෙසේ සියල්ල පිළිබඳව හේතු අහේතු දන්නාහ.