හත්හැවිරිදි සම්භව කුමාරයන්ගේ ධර්මානුශාසනය

අතීතයෙහි කුරුරට ඉන්දපත්ත නගරයෙහි ධනඤ්ජය කෝරව්‍ය නම් රජෙක් විය. සුචීරත නම් බ්‍රාහ්මණයෙක් ඔහුගේ පුරෝහිත විය. රජතුමා දානාදි පින්කම් කරමින් දැහැමින් රජය කරයි. එක් දවසක් රජු ධම්මයාග නම් ප්‍රශ්ණයක් පිළියෙල කොට සුචීරත බමුණාට සත්කාර කොට ඒ පැනය විචාළේය. සුචරිත බොරු නො කොට එය තමාට අවිෂය බව, තමා විසින් විසඳිය නො හෙන පැනයක් බව පවසා “මේ ප්‍රශ්නය විසඳිමට බරණැස් රජුගේ පුරෝහිත විධුර බ්‍රාහ්මණයා හැර අනිකෙක් සමත් නොවෙති’යි කී ය. එකල්හි රජතුමා ඒ ප්‍රශ්නය විසඳා ගෙන එනු පිණිස පුරෝහිත බමුණා ම එහි පිටත් කළේ ය. සුචීරත කෙලින් ම බරණැසට නො ගොස් දඹදිව ඇවිද බොහෝ පඬිවරුන්ගෙන් ඒ ප්‍රශ්නය විචාළේ ය. විසඳීමට කිසිවෙක් සමත් නොවීය. ඉක්බිති සුචරිත බමුණා ක්‍රමයෙන් බරණැස් නුවරට ගොස් බරණැස් රජුගේ පුරෝහිත විදුර බ්‍රාහ්මනයාගෙන් ධර්මයාග ප්‍රශ්න විචාළේ ය. ඔහු එය නො විසඳා “මගේ පුත්‍ර වූ භද්‍රකාර පණ්ඩිතයෙක, මට වඩා නුවණැතියෙක, මේ ප්‍රශ්නය ඔහු විසඳනවා ඇත. ඔහු වෙත ගොස් අසන්නය’යි කීය.

බ්‍රාහ්මණ තෙමේ භද්‍රකාර වෙත ගොස් ප්‍රශ්නය විචාලේ ය. “මේ කාලයේ නො මනා ක්‍රියාවක යෙදිමෙන් මගේ සිත ව්‍යාකූල වී ඇත්තේ ය. ඒ නිසා මෙය මට විසඳිය නො හැකි ය. මාගේ සහෝදර සඤ්ජය කුමාරයා ඉතා නැණවතෙක, ඔහුගෙන් මේ ප්‍රශ්නය අසන්න, ඔහුගෙන් මේ ප්‍රශ්නය විසඳා ගත හැකි වන්නේ ය’යි භද්‍රකාර කීය.

සුචීරත බ්‍රාහ්මණ තෙමේ සඤ්ජය වෙත ගොස් ප්‍රශ්නය විචාළේ ය. ඒ කාලයේ දී පරදාරාවන් සේවනය කිරිමෙන් සඤ්ජයගේ සිත ද ආකූලව පැවැත්තේ ය. එබැවින් ඔහු ප්‍රශ්නය නො විසඳා “මගේ බාලසහෝදර සත්අවුරුදු වියෙහි සිටින සම්භව කුමාර තෙමේ අපට වඩා බොහෝ නුවණැතියෙක, ඔබගේ ප්‍රශ්නය විසඳිමට ඔහු සමත් වනු ඇත. ඔහු කරා ගොස් ප්‍රශ්නය අසන්න ය’යි සඤ්ජය කීය. එකල්හි සුචීරත “පියාය වැඩිමහළු පුත්‍රයන් දෙදෙනාය යන තිදෙනාට ම විසඳිය නුහුණු ප්‍රශ්නය බාලකුමාරයා කෙසේ විසඳන්නේ දැ’යි කී ය. සම්භව කුමාරයෝ බෝධිසත්වයෝ ය. සඤ්ජය කුමරා තෙමේ තමාගේ මලණුවන් වන සම්භව කුමාරයන්ගේ ගුණ වැණු කල්හි සුචීරත බ්‍රාහ්මණ තෙමේ සම්භව කුමාරයන් වෙත ගියේ ය. එකල්හි සම්භව කුමාරයන් හුන්නේ වීදියෙහි කුමරුවන් හා ක්‍රීඩා කරමිනි.

බෝධි සත්වයන් විසින් ආ කරුණු විචාළ කල්හි සුචීරත මෙසේ කීය. “මම කෝරව්‍ය රජතුමා විසින් එවන ලද දුතයෙක්මි. අපගේ රජතුමා අර්ථයත් ධර්මයත් දැනගනු කැමැත්තේය. අපගේ රජතුමා අර්ථයත් ධර්මයත් කරනු කැමැත්තේ ය. එතුමා අර්ථයත් ධර්මයත් විචාරන්නේ ය. එතුමාට අර්ථයත් ධර්මයත් පහදා කියනු මැන.

බෝධිසත්වයන් වහන්සේ සූචීරත හට අර්ථයත් ධර්මයත් මෙසේ පැවසූහ.

“අජ්ජ සුවෙති සංසෙය්‍ය - රඤ්ඤා පුට්ඨො සුචීරත
මා කත්වා අවසී රාජා - අත්ථෙ ජාතෙ යුධට්ඨීලො.

-

අජ්ක්‍ධත්තඤ්ඤෙව සංසෙය්‍ය - රඤ්ඤා පුට්ඨො සුචීරත

කුම්මග්ගං න නිසෙවෙය්‍ය - යථා මූළ්හො අචෙතසො.

-

අත්තානං නාතිවත්තෙය්‍ය - අධම්මං න සමාචරෙ,

අතිත්ථෙ නප්පතාරෙය්‍ය - අනත්ථෙ න යුතො සියා.

-

යො ච එතානි ඨානානි - කත්තුං ජානාති ඛත්තියො,

සදා සො වඩ්ඪතෙ රාජා - සුක්කපක්ඛෙව චන්දිමා.

-

ඤාතීනඤ්ච පියො හොති - මිත්තේසු ච විරොචතී,

කායස්ස භෙදා සප්පඤ්ඤො - සග්ගං සො උපපජ්ජති.”

ගාථාවල අදහස :-

ඔබගේ රජුට යම් කිසි කුශල ක්‍රියාවක් කරනු කැමැත්ත ඇති වී අද මෙය කරමු දැයි ඇසු කල්හි මහරජ, අද දඩයම් කරමුය, මත්පැන් බොමු ය, ක්‍රීඩා කරමු ය. ඒ පින්කම සෙට කරමුය යි කොතරම් උසස් කෙනෙකුන් විසින් කිව ද එයට අනුකූල නොවී අදහස් කළ පුණ්‍ය කර්මය එදිනම කෙරේවා. ඒ බව ඔබගේ රජුට කියනු. ධර්මයාග ප්‍රශ්නය ගැන සම්භව පණ්ඩිතයන් කුමක් කීයේ දැයි අසන ඔබ රජුට මේ පඤ්චස්කන්ධය ඇති නැති වන අනිත්‍ය දෙයකැයි කියව, මුලා වූ අන්ධ පෘථග්ජනයන් මෙන් ද්වාෂෂ්ඨී දෘෂ්ටි සංඛ්‍යාත අමාර්ගය ඔබ රජු සේවනය නො කෙරේවා, ත්‍රිවිධ කුලසම්පත්තියෙන් හා දේවසම්පත්තියෙන් පිරිහෙන පව්කම් ඔබ රජු නො කෙරේවා. ඔබරජ මහජනයා ද්වාෂෂ්ඨී දෘෂ්ටි සංඛ්‍යාත අතීර්ථයට නො පමුණුවාවා, අකාරණයෙහි නො යෙදේවා. බ්‍රහ්මණය, ඔබ රජ ධර්මයාග ප්‍රශ්නයෙහි පවතිනු කැමැත්තේ නම් මේ අනුශාසනයෙහි පිහිටාවා. යම් රජෙක් කියන ලද දේවල් කරන්නට දන්නේ නම් කෙරේ නම් ඒ රජ ශුක්ලපක්ෂයේ චන්ද්‍රයා මෙන් වැඩෙන්නේ ය. නෑයන්ට ප්‍රිය වන්නේ ය. මිත්‍රයන් අතර බබලන්නේ ය. මරණින් මතු දෙව් ලොව උපදනේ ය.

සුචරිත බ්‍රහ්මණ තෙමේ බෝසතාණන්ගේ අනුශාසනය රත්පතෙහි ලියාගෙන ගොස් කෝරව්‍ය රජුට ධර්මයාග ප්‍රශ්නය පහදා දුන්නේ ය. රජතුමා එය අනුව ක්‍රියා කොට ස්වර්ගපරායන විය.

බෝසතාණන් වහන්සේ තිරිසන් ජාතිවල ඉපද සිටිය දී ද නොයෙක් වර රජුන්ට පවා අනුශාසනය කරන ලද බව බොහෝ ජාතක කථා වලින් පෙනේ. සූකරව උපන් කලෙක කළ ධර්මානුශාසනය මිනිසුන් අතර අවුරුදු සැටදහසක් කල් පැවැති බව ද, ජම්බුක නම් පක්ෂියකුව සිටියදී කළ අනුශාසනය අවුරුදු හතළිස් දහසක් කල් පැවැති බව ද ජාතක අටුවාවෙහි දක්වා ඇත්තේ ය.