භික්ෂුන් පන්සියයක් රහත් විම

එක් වස් කාලයක් සමීපයේ පන්සියයක් භික්ෂුහු තථාගතයන් වහන්සේගේ කමටහන් ලබා ගෙන යෝග්‍ය සේනාසනයක් හා ගොදුරුගමක් සොයන්නාහූ අනුක්‍රමයෙන් හිමාලය හා සම්බන්ධ වූ මනරම් ගල්තලා වැලිතලා හා ජලාශයන් ඇති පර්වතයක් දැක එහි වැඩ, පසු දින සමිප ගමකට පිඬු පිණිස ගිය කල්හි ගම් වැසියො දන් දී එහිම වස්කාලයෙහි විසිමට ආරාධනා කොට භික්ෂුන්ට ඒ පර්වතයෙහි වාසස්ථානයන් ද පිළියෙල කර දුන්හ. ඒ වනයෙහි ගස්වල බොහෝ දේවතාවෝ විසූහ. භික්ෂුන් භාවනාව සඳහා ගස් මූල් හිඳ ගනිති. දේවතාවෝ සිල්වත් භික්ෂුන් බිම ඉන්නා කල්හි ගස් හී විසිමට අපොහෙසත් වූවාහූ ගස් වලින් ඉවත් ව විසූහ. “භික්ෂුහූ අද යති ය සෙට යති ය’යි බලා සිටියා වූ දෙවියෝ ඔවුන් නොවන කල්හි උන්වහන්සේලා බිය ගන්වා වනයෙන් පළවා හරිනු පිරිස රාත්‍රීයෙහි භික්ෂුන් භාවනාවෙහි යෙදී ඉන්නා අවස්ථාවට පැමිණ භායානක රූප දක්වන්නට හා ශබ්ධ කරන්නට ද පටන් ගත්හ. ඒ රූප දැක ඒ ශබ්ද අසා ඒ භික්ෂුන්ට සිත් එකඟ කරන්නට නො පිළිවන් විය. ඒ භය නිසා ක්‍රමයෙන් භික්ෂුන්ගේ ශරිරය ද දුබල විය. ඔවුනට සිහිය පිහිටුවා ගන්නට ද නොහැකි විය. දෙවියෝ එපමණකින් නො නවත්වා ඉවසිය නොහෙන දුර්ගන්ධයන් ද එවන්නට වූහ. භික්ෂුහු තම තමන්ට ඇති කරදර අන්‍ය භික්ෂූන්ට ද කියා සැමදෙනා වහන්සේ ම එකතුව මේ කරුණ බුදුරදුන්ට දන්වා අපට සත්ප්‍රායවන අන් සෙනසුනක් තථාගතයන් වහන්සේගෙන් දැන ගෙන අන් සෙනසුනක පසුවස් විසිමේ බලාපොරොත්තුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සිදු වූ දෑ සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන්ට සත්ප්‍රාය වන අන් සෙනසුනක් බලන සේක්, මුළු පොළොවෙහි ම නො දැක භය දුරු කරවීම සඳහා භාවිතා කිරිමට මෛත්‍රිය සුත්‍රය උගන්වා භික්ෂුන් නැවත ඒ සෙනසුනට ම යැවු සේක. ඉන්පසු දේවතාවෝ භික්ෂුන් කෙරෙහි පැහැදී උන්වහන්සේලාට උපකාර ද කරන්නට වූහ. සැම දෙනා වහන්සේ ම එහි වෙසෙමින් මහණදම් පුරා වස්කාලය තුළදී ම රහත් වුහ.

මහාබෝධිමූලයේ වැඩ සිට භාවනා කිරිමෙන් මිස අන් තැනක භාවනාවෙහි යෙදීමෙන් ලොව්තුරා බුදුබවට නො පැමිණිය හැකි ය. බෝධිමූලය ම ලොව්තුරා බුදුබව ලැබිමට සුදුසු ස්ථානය ය. එමෙන් රහත් වන්නා වූ පුද්ගලයන්ට ද සුදුසු ස්ථාන ඇත්තේ ය. සුදුසු ස්ථානයේ දිම මිස අන් තැනක මහණදම් පුරා රහත් වන්නට ද නො පිළිවන, සමහරුන්ට රහත් වීමට සුදුසු ස්ථාන බොහෝ තිබිය හැකි ය. සමහරුන් ට ඇත්තේ එක් ස්ථානයක් පමණෙකි. සත්ප්‍රාය සෙනසුන දත හැකි නුවණ ලොවුතුරා බුදුනට මිස සෙස්සන්ට නැත. එහෙත් ඒ ඒ පුද්ගලයෝ තම තමන්ට සත්ප්‍රාය ස්ථාන වලට කර්මානුකූලව පැමිණෙති. ඉහත කී භික්ෂුන් පන්සියය ඒ සෙනසුන හැර ගියාහූ නම් ඔවුනට රහත් වන්නට නො පිළිවන් වන්නේ ය. තථාගතයන් වහන්සේගේ අනුශාසනය ලැබ පළමු සෙනසුනට ම ආපසු ගිය බැවින් ඒ භික්ෂූහු අර්හත් ඵලයට පැමිණියහ. එසේ සුදුසු පරිදි නො වරදනා පරිදි අනුශාසනයට සමත් බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි අනුශාසකයන් වහන්සේ වන සේක.