ගංගාතීරිය තෙරුන් වහන්සේ

පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ එක් කුලපුත්‍රයෙක් බුදුසස්නෙහි පැහැදි භික්ෂුසංඝයාහට පැන් දුන්නේය. හේ ඒ පිනෙන් දෙව්ලොව ඉපිද නැවත නැවත ද දෙව්මිනිස් දෙගතියෙහි උපදිමින් පින් කරනුයේ අප බුදුන්ගේ කාලයේ සැවැත්නුවර එක් කුලගෙයක ඉපද වැඩිවිය පැමිණ තමා අතින් සිදු වූ වරකින් සංවේගයකට පැමිණ ගිහිගෙය හැර පැවිදිව ඉතා රූක්ෂ ප්‍රතිපත්තියට බැස පංසුකූල සිවුරු දරමින් මිනීවලට කිරි ඉස්නා මැටි බදුනක්වැනි මැටිපාත්‍රයක් ගෙන ගංගාතීරයෙහි තල්පත් තුනකින් කුටියක් සදා ගෙන එහි වෙසෙමින් අරහත්වයට පැමිණෙන තුරු කිසිවකු හා කථා නෙකරන්නට ඉටා ගෙන බලවත් වීර්යෙන් මහණදම් පිරුවේය. ඒ භික්ෂුවට මාපියන් විසින් නැබු නම දත්ත ය. ගං ඉවුරෙහි විසීම නිසා පසු කාලයකදී ඔහුට ගංගාතීරිය නම ඇති විය. කථා නො කිරිමට ඉටා මහණදම් පිරිමට බැසගත් තෙරණුවෝ ප්‍රථම වර්ෂයේ දී කිසිවකුට හා වචනයකුදු කථා නො කළහ. දෙවන වසරෙහි උන් වහන්සේ පිඬු සිඟා වඩනා ගමෙහි එක්තරා ස්ත්‍රියක් උන් වහන්සේ ගොළුවෙක් දැ’යි විමසනු පිණිස පාත්‍රයට කිරි වත්කරන්නී අත වැසූ කල්හි ද නො නවත්වා ම කිරි වත්කළාය. එදා උන් වහන්සේ අතින් ඇඟවීමෙන් කිරි වත්කිරිම නවතාලිය නො හී “ඇත නැඟණීයනි” යන වදනමුවින් නිකුත් කළහ. බලවත් වීර්ය්‍යයෙන් මහණදම් පිරූ තෙරුන් වහන්සේ තෙවන වසරෙහි වස්කාලයේදී සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියහ. උන් වහන්සේ පසු කාලයේ තමන් වහන්සේගේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරිම් වස් මේ ගාථා වදාළහ.

තිණ්ණං මෙ තාලපත්තානං - ගංගාතීරෙ කුටී කථා,
ඡවසිත්තොච මෙ පත්තො - පංසුකූලං ච චීවරං,

-

තිණ්නං අන්තරවස්සානං - එකා මෙ වාචා භාසිතා,
තතියෙ අන්තරවස්සම්හි - තමොක්ඛන්ධො පදාලිතො.

(ථෙරගාථා අට්ඨකථා)