අම්බඛාදක තිස්ස තෙරුන් වහන්සෙ ජීවිතය නිසාද කුඩා සිකපදයකුත් කඩ නො කොට සිල් රැකි තෙර නමකි. උන් වහන්සේ දුර්භික්ෂ කාලයකදී මඟට බැස ගමන් කරන්නාහු ආහාර නො ලැබිමෙන් හා ගමන් විඩාවෙන් ද දුබලව ඉදිරියට යා නො හී එක් අඹ ගසක් යට ශයනය කළහ. ඒ ගසෙහි බොහෝ අඹපල තිබිණ. ඉදුණු අඹ පල වැටිණ. එය අස්වාමික අඹගසක් වූ බැවින් ඒ අඹපල ගෙන වැළඳීමට කිසිවකුගෙන් බාධාවක් ද නැත. එහෙත් ඒ අඹපල සියතින් ගෙන වැළඳීම භික්ෂූන්ට අකැපය. ඒවා සියතින් ගෙන වැළඳුවහොත් “යො පන භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරෙය්‍ය අඤ්ඤත්‍ර උදකදන්තපොනා පාචිත්තියං” යන සිකපදය බිදීමෙන් ඇවැත් වේ. එය මහා ආපත්තියක් නොවන ඇවතෙකි. භික්ෂූන් වහන්සේ නමක් වෙත ඇවැත් දෙසීමෙන් එයින් පිරිසිදු විය හැකිය. එහෙත් තෙරණුවෝ ආහාර නො ලැබීමෙන් මරණයට පත්වීමට ද ඉඩ ඇති අමාරු අවස්ථාවෙහිද,
“ධනං චජෙ යො පන අංගහෙතු
අංගං චජෙ ජිවිතං රක්ඛමානො,
අංගං ධනං ජිවිතඤ්චා පි සබ්බං
චජෙ නරො ධම්මමනුස්සරන්නො”
“ශරීරාවයවයන් රැක ගැනීමට ධනය හළ යුතුය. දිවි ගැනුම පිණිස ශරීරාවයව ද හළ යුතුය. ධර්මය සිහි කරන්නහු විසින් ධර්මානූකූල ප්‍රතිපත්තිය රකිනු සඳහා අංග-ධන-ජීවිත යන සියල්ලම පරිත්‍යාග කළ යුතුය.” යන සත්පුරුෂානුස්මෘතිය සිහි කෙරෙමින් නිරාහාරත්වයෙන් නැසෙතොත් නැසේවා’යි ජිවිත පරිත්‍යාගයෙන් සිකපදය ආරක්ෂා කළහ. අත ළඟ ම ඇති අඹපල නො ගෙන ජීවිත පරිත්‍යාගයෙන් සිල් රක්නා තෙරුන් වහන්සේගේ ගුණානුභාවයෙන් දෝ සැදැහැවත් උපාසක මහතෙක් එහි පැමිණියේ ය. ඔහු තෙරුන් වහන්සේ දැක උන් වහන්සේ ක්ලාන්තව සිටිනු දැක අඔ පල ගෙන මැඩ අඹ පැන් පිළියෙළ කොට උන් වහන්සේට පිළිගැන්විය. ඉක්බිති උපාසක මහතා ඉදිරියටත් උපස්ථාන කොට තෙරුන් වහන්සේට ශක්තිය ලබා දී දිවි රැක දෙනු පිණිස උන් වහන්සේ පිටෙහි හිඳුවා තමාගේ වාසස්ථානයට ගෙන ගියේ ය. තෙරුන් වහන්සේ උපාසක මහතාගේ පිටින් යෙමින් ම තමන් වහනසේ ශීලය ආවර්ජනා කොට විදසුන් වඩා සව් කෙලෙසුන් නසා අර්ත්ඵලයට පැමිණියාහ.
(විසුද්ධිමග්ග)
කියන ලද තෙරුන් වහන්සේලා මෙන් මේ බුදු සස්නෙහි බොහෝ බුද්ධශ්‍රාවකයෝ ජිවිත පරිත්‍යාගයෙන් පිළිවෙත් පිරූහ. සංඝගුණයයන් අතුරෙන් ප්‍රධාන ගුණය සුපටිපන්න ගුණය ය. උජුපටිපන්න, ඤායපටිපන්න, සාමිචිපටිපන්න, යන ගුණ තුන සුපටිපන්න ගුණයේ ම ආකාර විශේෂයෝ ය. සුපටිපන්න ගුණය ඇති කල්හි ඒ ගුණ තුන ද ඇත්තේය. ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය, අඤ්ජලිකරණිය යන ගුණ සතර හා අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණය සුපටිපන්නගුණයාගේ ඵලයෝ ය. සුපටිපන්න ගුණය ඇති කල්හි ඒ ගුණ පස ද ලැබෙන්නේ ය.