භික්ෂුන් සැටනමක් රහත්වීම

පෙර මේ ලක්දිව භික්ෂුන් සැටනමක් එක් වී නාගදීපයේ රාජායතන චෛත්‍යය වැඳිම සඳහා ගොස් චෛත්‍යය වැඳ පුදා එහිම රාත්‍රීය ගෙවා පසු දින උදැසන පාත්‍ර ගෙන පිඬු පිණිස ගමට පිවිසියාහු ය. එක් ගෙයකිනුදු කිසි අහරක් නොලබා උන්වහන්සේලා හිස් පාත්‍ර වලින් යුතුවම ගම් දොරට පැමිණිය හ. එගම කහවනු සැටක් ණය වී එය වෙනුවට ගෙයක මෙහෙවර කරන ‘නාගා’ නම් ස්ත්‍රීයක් විසුවා ය. ඕ කළයක් ගෙන දිය පිණිස යන්නී ඒ භික්ෂුන් දැක උන්වහන්සේලා වෙත ගොස් වැඳ ‘ස්වාමිනි, ආර්යයයන් වහන්සේලා පිණ්ඩපාතය ලද්දාහූදැ’ යි විචාලා ය. භික්ෂූහු ‘උපාසිකාවනි, තවම පෙරවරු කාලය ඇත්තේය’ යි කීහ. ඕ භික්ෂුන් වහන්සේලා අහරක් ලබා නැති බව තේරුම් ගෙන මහත් සංවේගයට පැමිණ ’ කෙසේ හෝ මුන් වහන්සේලාට දන් සැපයිය යුතුය, මුන්වහන්සේලා සුන්බත් වන්නට ඉඩ නොදිය යුතුය, දන් දිමට කිසි වස්තුවක් මට නැත, මම ණය ගෙවාගත නොහැකිව වැඩ කරමින් සිටි දුගියෙක්මි. මා දැන් වැඩ කරන්නේ දවල් කාලයේ පමණය. මට රාත්‍රීයද වැඩ කළ හැකි ය, රාත්‍රීයේ වැඩ කර දිම සඳහා මුදලක් ණයට ගෙන මුන්වහන්සේලාට දන් සපයමි’ යි සිතා කළය මෙහි තබා යෙමි. නුඔ වහන්සේලා කරුණාකර මා එනතුරු මෙහි මොහොතක් වැඩ කරනවා’ යි කියා වහා තමා වැඩ කරන ගෙටම ගොස් ගෘහස්වාමියාගෙන් තවත් කහවනු සැටක් ණයට ඉල්ලී ය.

එකල්හි ගෙහිමියා ‘තී තවම පරණ ණයෙන් නොමිදි කුමට තවත් ණය ඉල්ලන්නීදැ’ යි කීය. එකල්හි ඕ ‘හිමියෙනි, ධනය ගැන බිය නොවනු මැනව, මම දැන් ගන්නා මුදල වෙනුවට රාත්‍රීය වැඩ කරමි’ යි කීවාය. ගෙහිමියා ’ එසේනම් යහපතැ’ යි ඇයට කහවනු සැටක් දිණ. ඕ තොමෝ මුදල් ගෙවා වහා ගමේ ඇවිද එක ගෙයකට එක කහවනුව බැගින් දී දන් පිළියල කරවා පාත්‍රවලට බෙදා භික්ෂුන් වහන්සේලාට පිළිගන්වා වැඳ තමා දානය පිළියෙල කළ සැටි ද භික්ෂුන්ට කියා, කළය ගෙන ගියා ය. ඇගේ කථාව ඇසූ භික්ෂුන් විශ්මයට පැමිණ එහි ම දන් නො වළඳා තම තමාගේ පාත්‍ර ගෙන මහානාම නම් විල සමිපයේ මිදෙල්ල වනයට ගියහ. එහිදි සංඝස්ථවිරයන් වහන්සේ සෙසු භික්ෂුන් අමතා කියන සේක් ‘ඇවැත්නී මේ දානය දුන් දුගී කත අපේ මව හෝ නො වන්නීය, සොයුරියක් ද නො වන්නීය, නෑතැනැත්තියක් ද නො වන්නීය, අතිශයින් දිළිදු වූ ඇය තමාගේ ශරිරය විකුණා මේ දානය අපට පිළියළ කර දුන්නේ’ සිල්වත් වූ ගුණවත් වු මුන්වහන්සේලාට දීමෙන් අනන්ත ඵල ලැබෙන්නේ ය’ යි සලකා ගෙන ය. මෙබඳු දානය අප විසින් සරාගිව සිට වැළදීම නුසුදුසු ය. ඇගේ දානය මහත්ඵල වන පරිදිම අප විසින් ඒ දානය වැළඳිය යුතුය. ඒ නිසා අපි මේ දානය කෙසේ හෝ සව් කෙලෙසුන් නසා රහත්වම වළඳමු ය, යි කීහ. ඉක්බිති භික්ෂුහු ‘රහත් නොවී මේ දානය නො වළඳමුය’ යි වනයෙහි තැන තැන හිද මහත් වූ උත්සහයෙන් වෙනදාට වඩා අතිරේක උත්සහයකින් භාවනාවට පටන්ගෙන එදින පෙරවරු කාලයේ දී ම සැමදෙනා වහන්සේම සියලූ කෙලෙසුන් නසා රහත් වූහ. එය දැන වන දෙවියෝ සාධුකාර දුන්හ. උන්වහන්සේලා දෙවියන්ගේ සාධුකාර මධ්‍යයේම පවිත්‍ර වු සන්තාන ඇතිව නාගාට දානය මහත් ඵල වන පරිදි ආහාර වැළඳු හ. මේ පුවත දැන ගන්නට ලැබී රජුගේ ශ්වේතව්ඡත්‍රයෙහි අධිගෘහිත දෙවියා ද සාධුකාර දීණ. රජු ඔහුගෙන් අසා නාගා ගැන පැහැදී ණය හිමියාත් සමඟ ඇය ගෙන්වා ණයෙන් මුදවා ඒ දිවයින ඇයට ම දී තවත් සම්පත් ද දිණ. ඉක්බිති ඕ තවත් බොහෝ පින්කම් කොට ජිවිතාවසානයේ දෙව්ලොව උපන්නාහ. (මේ රසවාහිණියේ එන කථාවකි.)

(මේ කථාවේ සැටියට රාජායතන චෛත්‍යයට නුදුරින් මහානාම නම් විලක් හා මිදෙල්ල වනයක් ද තිබිය යුතුය. දැනට නාගදීපය වශයෙන් සලකන දිවයින බුදුරදුන් වැඩ වඳාළ රාජායතන චෛත්‍ය පිහිටි නාගදීපය ද නැතහොත් නියම නාගදිපය අන් තැනක් ද යනු විමසිය යුතු ය.)