අග්‍රශ්‍රාවකයන් වහන්සලේගේ ප්‍රර්ථනාව

මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සැරියුත් මහා තෙරණුවෝ බ්‍රහ්මණ මහාසාර කුලයෙහි උපන්හ. සරද යනු ඔහුගේ නම විය. මුගලන් මහා තෙරණුවෝ ගෘහපති මහාසාර කුලයෙහි උපන් හ. ඔහු සිරිවඞ්ඪ නම් විය. ඔවුන් දෙදෙනා බාලකාලයේ පටන් මිතුරෝ වූහ. සරද මානවක තෙමේ පියාගේ ඇවෑමෙන් තමාට හිමි වූ මහා ධනස්කන්ධය පරිහරණය කරමින් සිටිනුයේ එක් දිනක් මෙසේ සිතුවේ ය. ‘මම මෙලොව පමණක් දනිමි, පරලොව නො දනිමි, උපන් සත්වයනට මරණය නියතය, එබැවින් මා පැවිදිව මෝක්ෂය සෙවිය යුතු ය ‘ඉක්බිති ඔහු තමාගේ මිතුරා වන සිරිවඞ්ඪ කෙළෙඹි වෙත ගොස් ‘මිත්‍රය’ මම පැවිදිව මෝක්ෂය සොයන්නට බලාපොරොත්තු වෙමි. ඔබට මා හා පැවිදි විය හැකිදැ’ යි ඇසී ය. මිත්‍රය, මට නම් එය නොකළ හැකිය. ඔබ පැවිදි වන්නය’ යි සිරිවඞ්ඪ කී ය. එකල්හි සරද මානවක තෙමේ ‘නෑ - මිතුරන් ද කැදවා ගෙන ඔවුන් සමඟ පරලොව ගිය කෙනෙකුන් නැත, තමා යමක් කළහොත් එය තමාට වේය’ යි සිතා තමා අයත් සියලූ ධනය දුගි මගී යාචකාදීන්ට දන් දී පර්වතය සමිපයට ගොස් සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව භාවනාවෙහි යෙදෙන්නට විය. ඔහු පැවිදි වූ බව ඇසු දුටු බොහෝ දෙනෙක් ද, වරින් වර එහි ගොස් ඔහුගේ ආචාර්යත්වයෙන් පැවිදි වූහ. එසේ පැවිදි වූ ඔහුගේ ශිෂ්‍ය පිරිස සැත්තෑසතරදහසක් විය. සරද තාපස තෙමේ භාවනා කොට පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ගෙන සිය පිරිස ද කසිණ භාවනාවෙහි යෙදවූයේ ය. සරද තාපසයන්ගේ අනුශාසනය පරිදි භාවනාවෙහි යෙදී ඒ සැමදෙනාම ද පඤ්චාහිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ගත්හ.

එකල්හි අනෝමදස්සි නම් වු බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ වැඩ විසු නගරය චන්දවති නම් විය. යසවන්ත නම් ක්‍ෂත්‍රීයෝ උන් වහන්සේට පිය වූහ. යසෝධරා නම් දේවිය මෑණියන් වූවා ය. කුඹුක්රුක බෝධිය විය. නිසහ ස්ථවිරයෝය, අනෝම ස්ථවිරයෝය යන දෙදෙනාම අග්‍රශ්‍රාවකයෝ වූහ. වරුණ ස්ථවිරයෝ උපස්ථෘයක වූහ. සුන්දරා, සුමනා, යන ස්ථවීරින් දෙදෙනා අග්‍රශ්‍රාවිකාවෝ වූහ. උන්වහන්සේගේ ආයුෂ වර්ෂ ලක්ෂයක් විය. උන්වහන්සේගේ ශ්‍රී දේහය අටපනස් රියනක් විය. උන්වහන්සේගේ ශරිරාලෝකය දොළෙසේ යොදුනක් පැතිරියේ ය. පිරිවර භික්ෂුහු ලක්ෂයක් වූහ.

එක් දවසක් අනෝමදස්සී ථතාගතයන් වහන්සේ බලවත් උදැසන කාලයේ කුළුණු සමවතින් නැගිට ලොව බලා වදාරන සේක්, සරද තාපස දැක, ‘අද මා විසින් සරද තාපසයන් කරා යාමෙන් මහත් වූ ධර්ම දේශනයක් වන්නේ ය. ඔහු ද අගසව් තනතුර පතන්නේ ය. ඔහුගේ යහළු සිරිවඞ්ඪ කෙළෙඹි දෙවන අගසව් තනතුර පතන්නේ ය. දේශනාවසානයෙහි සරද තාපසගේ සැත්තෑසතරදහසක් ශිෂ්‍යයෝ අර්හත්වයට පැමිණෙන්නාහ’. යි ද දැක වදාරා, මා විසින් එහි යා යුතුය යි තමන් වහන්සේගේ පාසිවුරු ගෙන අන් කිසිවකු නො අමතා එකලාව හැසිරෙන සිංහරාජයකු මෙන් සරද තාපසගේ ශිෂ්‍යයන් ඵලාඵල පිණිස වනයට ගිය අතර තමන් වහන්සේ බුදුකෙනෙකුන් බව සරද තාපසට දත හැකි වනු පිණිස අහසින් වැඩම කොට ඔහු බලා සිටියදි අහසින් පොළොවට බැස වදාළ සේක.

සරද තාපස තෙමේ අහසින් බට අමුත්තාගේ අනුභාව හා රූප ශෝභාව දැක විස්මය ප්‍රාප්තව, බුදුරදුන් දෙස බලා ලක්ෂණ ශාස්ත්‍රය අනුව සිතනුයේ මොහුගේ සිරුරෙහි ඇති ලක්ෂණ වලින් යුත් තැනැත්තා ගිහිගෙයි විසුවොත් සක්විති රජකු විය යුතු ය. පැවිදි වුවහොත් සියල්ල දැන බුදුවිය යුතු ය, මේ මහා පුරුෂයා ඒකාන්තයෙන් බුදුකෙනෙකු විය යුතුය’ යි සිතා ඉදිරියට ගොස් පසඟ පිහිටුවා වැඳ වැඩ හිදිමට අසුණක් පනවා දිණ. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ වුන් සේක. සරද තාපස ද සුදුසු අසුනක් ගෙන එකත්පසෙක හිඳ ගත්තේ ය. එකෙනෙහි සැත්තෑසතරදහසක් තාපසයෝ ඕජාවත් ඵලාඵලයන් ගෙන ආචාර්යවරයා වෙත පැමිණියෝ ය. තවුසෝ බුදුන් වහන්සේ හා තමන් ගේ ආචාරවරයා හුන් අසුත් දැක ‘ආචාර්යයන් වහන්ස, අපි මෙතෙක් කල් නුඔ වහන්සේට වැඩි කෙනෙකු මේ ලෝකයෙහි නැතය’ යි සිතා සිටියෙමු. මේ පුරුෂයාණෝ නුඔ වහන්සේට වැඩි උසස් කෙනෙකුසේ පෙනෙති’ යි කීහ. එකල්හි සරද තාපස ‘දරුවනි, කුමක් කියන්නෙහු ද? නුඔලා අබ ඇටයක් මහා මෙරක් හා සසඳන්නට සිතන්නහු ය, සියල්ල දත් බුදුන් වහන්සේට මා උපමා නො කරව් ය’ යි කීය. එකල්හි තවුසෝ ‘ඉදින් මේ පුරුෂයා සුළු කෙනෙකු නම් අප ආචාර්යයෝ මෙබඳු උපමාවක් නොකියන්නා හ. මේ පූරුෂයා ඒකාන්තයෙන්ම උසස් කෙනෙකු විය යුතුය’ යි සැම දෙනාම අනෝමදස්සි බුදුන් වහන්සේගේ පා වැන්දෝ ය. ඉක්බිති සරද තාපස තෙමේ සිසුන් අමතා, ‘දරුවනි , බුදුන් වහන්සේ ආහාර වළදන වේලාවෙහිම මෙහි පැමිණි සේක. උන්වහන්සේට පිරිනැමිමට සුදුසු බොජුනක් අපට නැත. එහෙත් අපට ඇති සැටියට අපි උන්වහන්සේට ආහාර පිළිගන්වමු. තොප විස්න් ගෙනෙන් ලද ඵලාඵල ගෙන්වා අත සෝදා ඒවා තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි තැබි ය. තාපස තෙමේ තමා විසින් පැන් ද පෙරා තථාගතයන් වහන්සේට පිළිගැන්විය. බුදුන් වහන්සේ වළදා අවසන් කොට වැඩහුන් කල්හි සරද තාපස තෙමේ සියළු අතවැසියන් කැඳවා ගෙන තථාගතන් වහන්සේ හා පිළිසඳර කථාවෙහි යෙදිණ.

එකල්හි තථාගතයන් වහන්සේ ‘අග්‍රශ්‍රාවක දෙනම භික්ෂුසංඝයා ද සමඟ එත්වා’ යි සිතුහ. අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම ශාස්තෲන් වහන්සේගේ සිත දැන ලක්ෂයක් රහතුන් සමඟ පැමිණ තථාගතයන් වහන්සේ වැඳ එකත් පසෙක සිටිය හ. එකල්හි සරද තාපස ගෝලයන් අමතා ‘දරුවනි, බුදුන් වහන්සේ වැඩ සිටින අසුන ද මිටි ය. මේ ශ්‍රාමණයන් වහන්සේලා වැඩ සිටිමට ආසන ද නැත. තොප විසින් අද මහත් වූ බෞද්ධ සත්කාරයක් කළ යුතු ය. ඒ සදහා වර්ණගන්ධයෙන් යුක්ත වන නා නා පුෂ්පයන් පර්වත පාදයෙන් ගෙන එව්’ ය කීය. සෘඬිමත් වු තවුසෝ එකෙනෙහිම බොහෝ මල් ගෙනවුත් තථාගතයන් වහන්සේ සඳහා යොදුනක් උස මලසුනක් පැනවූහ. සෙසු භික්ෂුන්ට සුදුසු අසුක් පැනවූහ. නවක භික්ෂුන්ට පැනවූ අසුන් ද ඉසුබක් (බඔ තිස්පහක්) පමණ විය. ඉක්බිති සරද තාපස ථතාගතයන් වහන්සේ වැඳ ‘ස්වාමීනි, අපට දිර්ඝ කාලයක් හිත සැප පිණිස මේ අසුනෙහි වැඩ සිටින සේක් වා’ යි ආරාධනා කළේය. බුදුන් වහන්සේ අසුන් ගත් පසු අග්‍රශ්‍රාවක වහන්සේලා ඇතුළු භික්ෂුන් තම තමන්ට පැමිණි අසුන් වල වැඩ හුන්හ. සරද තාපස නානාවර්ණ පුෂ්පයන්ගෙන් සැදි මහත් වූ ඡත්‍රයක් ගෙන තථාගතයන් වහන්සේට අල්ලාගෙන සිටියේ ය.

එකල්හි තථාගතයන් වහන්සේ ‘තාපසයන්ට මේ සත්කාරය මහත් ඵල වේවා’ යි නිරෝධ සමාපත්තියට සමවන් සේක. ශාස්තෲන් වහන්සේ සමාපත්තියට සමවත් බව දැන අග්‍රශ්‍රාවකයන් ඇතුළු සකල භික්ෂුහු ද සමවතට සමවන්හ. සරද තාපසයන්ගේ ගෝලයෝ භික්ෂාචාර කාලය පැමිණි කල්හි වනමුල් ඵලයන් වළදා ඉතිරි කාලයේ තථාගතයන් වහන්සේට වැඳ ගෙන සිටිති. සරඳ තාපස ආහාර වැළදිම ද නො කොට කුඩය අල්ලාගත් වනම සතිය මුළුල්ලෙහි ප්‍රිති සුවයෙන් ම විසුයේ ය.

තථාගතයන් වහන්සේ සතියකින් පසු නිරෝධ සාමාපත්තියෙන් නැගිට තමන් වහන්සේගේ දකුණූ පස වැඩ හුන් අග්‍රශ්‍රාවක නිසහ තෙරුන් වහන්සේ අමතා තාපස වරුන්ට පුෂ්පාසනානුමෝදනව කරන්න’ ය යි වඳාළ සේක. නිසහ තෙරුන් වහන්සේ ශ්‍රාවක පාරමීඥානයෙහි සිට තාපසවරුන් දහම් දෙසූහ. උන්වහන්සේගේ දේශනාවසනයෙහි ද්විතීය ශ්‍රාවක අනෝමා තෙරුන් වහන්සේට දහම් දේසිමට වදාළ සේක. උන්වහන්සේ ද ත්‍රිපිටක බුද්ධ ධර්මය මෙනෙහි කොට දහම් දෙසුහ. අගසව් දෙනමගේ දේශනයෙන් එක් තවුසේකුටද ධර්මාභිසමය නො වීය. ඉක්බිති තථාගතයන් වහන්සේ අපරිමාන බුද්ධ විෂයෙහි සිට දහම් දෙසිමය පටන් ගත්හ. ඒ දේශනයෙන් සරඳ තාපසයන් හැර සිව්සැත්තෑදහසක් තවුසෝ සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියාහූ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ , ‘මහණෙනි, එව්’ යි කියා ශ්‍රී හස්තය දිගු කළ සේක. එකෙනෙහි තවුසන්ගේ කෙස් රෑවුල් අතුරු දහන් විය. අෂ්ටපරිෂ්කාරය ශරිරයෙහි ඉබේම බිහිටියේ ය. ඔවුන්ගේ ප්‍රධානයාවූ සරද තාපස තුමා ඉතිරි විය. එතුමාට ධර්මය අවබෝධ නො වීය.

සරද තාපසයන්ට වනාහි බුදුරදුන්ට දෙවන අසුනෙහි හිඳ ශ්‍රාවක පාරමී ඥානයේ පිහිටා දහම් දෙසු අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ ධර්මය අසන්නට ලද වේලාවෙහි පටන් ‘අහෝ මටද අනාගතයේ යම්කිසි බුදුකෙනෙකුන්ගේ සස්නක මේ ශ්‍රාවකයා විසින් ලබා ඇති තනතුර ලද හොත් මැනව’ යන හිත ඇති විය. ඔහුට කල්පනා නිසාම තථාගතයන් වහන්සේ දේශණය කළ ධර්මය මැනවින් තේරුම් ගෙන මඟ ඵල ලබන්නට නො පිළිවන් විය.

තමාගේ ශිෂ්‍ය පිරිස රහත්ව බුදුසස්නෙහි පැවිද්ද ලබා ගත් පසු සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ ’ ස්වාමීනි, නුඹ වහන්සේට සමිප අසුනෙහි වැඩ සිට දහම් දෙසු භික්ෂුන් වහන්සේ නුඹ වහන්සේගේ සස්නෙහි කවරෙක් වෙත් දැ’ යි විචාළේ ය. එකල්හි තථාගතයන් වහන්සේ ‘ශ්‍රාවක පාරමීඥානයෙහි කෙළ පැමිණ සිටින්නා වූ ෂෝඩශ ප්‍රඥාවන් ප්‍රතිවේධ තර සිටින්නා වූ මා විසින් පවත්වන ලද ධර්ම චක්‍රය නැවත පවත්වන්නාවූ ඒ භික්ෂු තෙමේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක නම් වන්නේ ය’ යි වදාළ සේක. සරද තාපස තෙමේ ‘ස්වාමීනි, සතියක් මුළුල්ලෙහි නුඹ වහන්සේට පුෂ්ප ඡත්‍රයක් දැරිමෙන් කළ සත්කාරයෙන් මම ශක්‍රත්වයක් හෝ බ්‍රහ්මත්වයක් නො පතමි. ඒ පිනෙන් මමද අනාගතයෙහි මේ නිසභස්ථවිරයන් වහන්සේ මෙන් එක් බුදු කෙනෙකුන්ගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක වෙම්වා’ යි ප්‍රාර්ථනා කළේ ය.

එකල්හි තථාගතයන් වහන්සේ ‘මොහුගේ ප්‍රාර්ථනය සිදුවන්නේ දැ’ යි අනාගතයට නුවණ යවා බලා සිදුවනු දැක සරද තාපස අමතා , ‘පින්වත, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ගෞතම නම් බුදු කෙනෙක් ලොව පහළ වන්නාහ. ඒ බුදුන්ගේ සස්නෙහි ඔබ ධර්ම සේනාපති ශාරිපුත්‍ර නම් අග්‍රශ්‍රාවකයා වන්නෙහිය’ යි වදාළ සේක. එදා ඒ අනවමදර්ශී සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට සත්කාර කොට අගසව් තනතුර පැතු සරද තාපස ඒ බුදුරදුන්ගේ අරහං ගුණානුභාවය නිසා ප්‍රාර්ථනාව ද සිදුවිම් වශයෙන් අග්‍රශ්‍රාවක විය.

සරද තාපස තෙමේ තමා අගසව් ලබන ගෞතම බුද්ධශාසනයේ දෙවන ශ්‍රාවක තනතුර තමාගේ යහළුවා වන සිරිවඞ්ඪ කෙළෙඹීයා ලවා ප්‍රාර්ථනා කරනු කැමැත්තේ ඔහු වෙත ගියේ ය. සිරිවඞ්ඪ, ‘බොහෝ කලකින් ආර්යයන් වහන්සේ පැමිණියහ’ යි ආසනයක හිඳුවා තෙමේ ද නීවාසනයෙක හිඳ ‘ස්වාමිනි, අද නුඹ වහන්සේගේ අතවැසියෝ නො පෙනෙති’ යි කීය. ‘එසේය යහළුව, අපේ අසපුවට අනවමදර්ශි සර්වඥයන් වහන්සේ පැමිණියහ. අපි උන්වහන්සේ අපට දහම් දෙසූ සේක, දේශනාවසානයෙහි මාගේ ශිෂ්‍යයෝ රහත්ව උන්වහන්සේ වෙත පැවිදි වූහ’ යි කීය. ‘ස්වාමිනි, එසේ නම් නුඹ වහන්සේ ඒ බුදුරදුන් වෙත පැවිදි නො වූයේ මන්දැ’ යි සිරිවඞ්ඪ කීය. ‘යහළුව, මම ඒ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ නිසභ තෙරුන් වහන්සේ දැක අනාගතයෙහි ලොව පහළ වන ගෞතම නම් බුදුරදුන්ගේ සස්නෙහි අග සව් තනතුර පැතුවෙමි, ඔබ ද ඒ බුදු සස්නෙහි දෙවන සව් තනතුර පතනු මැනව’ යි සරද තාපස කීය.

සිරිවඞ්ඪ කෙළෙඹි එයට කැමති වි සරද තාපසයන්ගේ උපදෙස් පරිදි තමාගේ නිවස ඉදිරියේ අටකිරියක් පමණ භූමිභාගයක් සමතලා කරවා වැලි ඉස්වා ලදපස්මල් ඉස්වා නිලූපුල් මල් පියැස්ස අති මඩුවක් කරවා අසුන් පනවා මහත් සත්කාරයත් පිළියල කොට බුදුන් වහන්සේ වැඩමවා දෙන පරිදි සරද තාපසතුමාට කීය. තාපසතෙමේ ඔහුගේ ඉල්ලීම පරිදි බුදුපාමොක් මහසඟන ඔහුගේ නිවසට වැඩම කරවීය. සිරිවඞ්ඪ පැනවූ අසුන් වල බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟන වඩා හිඳුවා ප්‍රණීත භෝජන වළදවා අවසානයේ දී වටිනා වස්ත්‍ර ද පුදා තථාගතයන් වහන්සේ වැඳ ස්වාමිනි, මාගේ මේ උත්සහය සුළු දෙයක් නොව්ය, එබැවින් මට සතියක්ම මෙසේ අනුකම්පා කරන සේක්වා’ යි දැයි කළේය.

තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනාව ඉවසා වදාළසේක. ඔහු සත්දිනක් මහදන් දී අවසානයේ අනවමදර්ශී සම්බුද්ධයන් වහන්සේ වැඳ ඇඳිලි බැඳ සිට ‘ස්වාමිනි, මාගේ යහළු සරද තාපසතුමා යම් බුදුකෙනෙකුන්ගේ අගසව් බව පැති ද මම මේ කුශලයෙන් ඒ බුදුරදුන්ගේ ද්විතීය අග්‍රශ්‍රාවක වෙම්වා’ යි පැතිය. තථාගතයන් වහන්සේ අනාගත බලා ඔහුගේ ප්‍රාර්ථනාව සිදුවන බව දැන ‘නුඹ මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු බුදුවන ගෞතම නම් සර්වඥයන් වහන්සේගේ ද්විතීයාග්‍රශ්‍රාවක වන්නෙහිය’ යි වදාළ සේක. හෙතෙමේ එසේ අනවමදර්ශී බුදුරදුන් ඉදිරියේ කළ ප්‍රාර්ධනාවෙන් මොග්ගල්ලාන නම් ද්විතීයාග්‍රශ්‍රාවක විය.

(මනොරථ පුර්ණි 84)

අප බුදුරජාජාණන් වහන්සේගේ සසුනෙහි ඒ ඒ කරුණෙන් අග්‍රස්ථානය ලැබු අගසව් දෙනමගෙන් අන්‍යවූ සකල ස්ථවිර ස්ථවීරිහූද, උපාසක උපාසිකාවෝ ද, මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර කොට ඒ තනතුරු වලට පැමිණි බැව් ඔවුන්ගේ චරිත කථාවලින් පෙනේ. ඒ චරිත කථා වලින් අප බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවක මහකසුප් තෙරුන් වහන්සේගේ කථාව ඉතා විචිත්‍ර වූ ද ආශ්චර්ය්‍යද්භූත කරුණු වලින් යුක්ත වූ ද කථාවෙකි. එය මෙසේය.