අරහං ගුණයේ මහන්තත්වය

බුදුරජාණන් වහන්සේ වනාහි අග්ගදක්ඛිණෙය්‍ය යන නම ලබන රහතුන් පසේබුදුවරුන් ඇතුළු ලෝකයා විසින් වැදුම් පිදුම් කරන රජුන් ඇතුළු දෙවියන් ඇතුළු ශක්‍ර - බ්‍රහ්මයන් ඇතුළු මනුෂ්‍යය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැම දෙනා විසින් ගරු බුහුමන් කිරිමට වැඳුම් පිඳුම් කිරිමට සුදුසු වන සේක. තථාගතයන් වහන්සේ විසින් ගරු බුහුමන් කිරිමට වැඳුම් පිඳුම් කිරිමට සුදුසු කෙනෙකු ලෝකත්‍රයෙහි කොතැනකවත් නැත.

ලොවුතුරා බුදුබව ලැබු අළුත උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරානදී තීරයේ අජපාල නම් නුගරුක මුල විවේකීව වෙසෙන අවස්ථාවක අප භාග්‍යවතුන් වහන්සේට එක්තරා කල්පනාවක් ඇති විය. ‘ගරුබුහුමන් කරමින් යටහත්ව ඇසුරු කළ යුතු පුද්ගලයකු ඇසුරු නො කොට කිසිවකුට ගරු බුහුමන් නො කරමින් ස්වච්ඡන්දයේ සැටියටම ජිවත් වීම දුකෙකි’ යනු උන්වහන්සේට ඇති වූ කල්පනාවය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යටහත්ව ගරුබුහුමන් කරමින් ඇසුරු කිරිම සඳහා තමන් වහන්සේට වඩා ශීලයෙන් වැඩි කෙනෙකු ඇතිදැ යි ලොව බලා වදාළ සේක.

වැඩි ශීලයක් ඇතියෙක් කොතැනකවත් නොපෙණින. ‘තමන් වහන්සේට සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්තිඥනදර්ශනයෙන් වැඩි ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් දෙවියෙක් බඹෙක් ඇත්තේ දැ’යි බැලූ සේක. කොතැනකවත් නොදුටු සේක. තමන්වහන්සේට වැඩි ශීලාදී ගුණයක් ඇතියකු කොතැනකින්වත් නුදුටු භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද ධර්මයට ගරු බුහුමන් කෙරෙමින් එය ගුරුතන්හි තබා වාසය කරන්නට ඉටා ගත්හ. තථාගතයන් වහන්සේ විසින් ගරු බුහුමන් කිරිමට සුදුස්සන් ලොව නැත්තේ උන්වහන්සේ සැමට වඩා ශීලාදි ගුණයෙන් උසස්ව සිටින නිසා ය. තථගතයන් වහන්සේට ඇති ඒ මහත්වූ ශීලාදී ගුණස්කන්ධය අනුව අරහං ගුණයෙන් මහන්තත්වය සැලකිය යුතුය.