න්‍යග්‍රෝධ පරිව්‍රාජක තැනගේ කථාව

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සේක. එකල්හි උදුම්බරික නම් පිරිවැජි අරමෙහි තුන්සියයක් පමණ පිරිවැජි පිරිසට නායක වූ න්‍යග්‍රෝධ නම් පරිව්‍රාජකයෙක් විය. එක් දිනක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයකු වන සන්ධාන නම් අනාගාමී උපාසකතුමා බුදුරදුන් දක්නා අදහසින් රජගහ නුවරින් නික්ම යන්නේ “මේ තථාගතයන් වහන්සේ වෙත යාමට කාලය නොවේ ය යි සිතා ඖදුම්බරික පරිව්‍රාජකාරාමයේ න්‍යග්‍රෝධ පරිව්‍රාජකයා වෙත ගියේ ය. එකල්හි න්‍යග්‍රෝධ පරිව්‍රාජක තෙමේ තිරශ්චීත කථාවෙන් මහත් ඝෝෂාවක් කර පිරිවැජි පිරිසක් හා හුන්නේ ය. න්‍යග්‍රෝධ පරිව්‍රාජක තෙමේ සන්ධාන ගෘහපතිතුමා දුරදි ම දැක හැඳින “ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන් විවේකයට කැමැත්තෝ ය, ගෝට්ටියට නො කැමැත්තෝ ය. මේ පිරිස සන්සුන් වුවහොත් සන්ධාන ගෘහපති මෙහි පැමිණෙන්නට සිතනු ඇතැයි’ පිරිසට කියා, පිරිස සන්සුන් කෙළේ ය. සන්ධාන ගෘහපති න්‍යග්‍රෝධ පරිව්‍රාජක වෙත ගොස් පිළිසඳර කථා කොට “මේ අන්‍ය තීර්ථක පරිව්‍රාජකයෝ මහහඬින් අනේකවිධි තිරශ්චීන කථා කරමින් කල් ගෙවන්නාහ. අප භාග්‍යවතුන් වනාහි ආරණ්‍යාදි නිශ්ශබ්ද විවේකස්ථානයන් භජනය කරන්නාහ. තීර්ථකයාගේ ප්‍රතිපත්තිය අන් ආකාර වන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිපත්තිය අන් ආකාර වන්නේය යි කී ය. මේ ගෘහපතියා අප ගණන් නොගෙන අප ඉදිරියේ ද ඔහුගේ ශාස්තෲවරයාටම පසසන්නේය යි කිපී, “ගෘහපතිය ඔබ පසසන ශ්‍රමණ ගෞතම හා කථා කිරිමට කවරකුට කිනම් කරුණක් ඇත්තේ ද? ඔහු හා කථා කරන්නට දෙයක් නැත. කථා කරන්නට කරුණක් නැති කල්හි කථාවට යන කෙනෙකු නැති කල්හි ශ්‍රමණ ගෞතම තෙමේ කවරෙකු හා කුමක් කථා කරන්නේ ද? කථාවට සමත් බවක් ශ්‍රමණ ගෞතමට නැත. ඔහුට තුබු නුවණ ද ශුන්‍යාගාරවල විසිමෙන් මොට වී ඇත්තේ ය. ඔහු පිරිස හා හැසිරිමට නො සමත් ය. පිරිස මැදට පැමිණ කථා කිරිමට නො සමත් බැවින් ඔහු ඇසක් අන්ධ වූ ගවයකු මෙන් අයින් වී ඉන්නේ ය. ජන ශුන්‍ය ස්ථානයන් සේවනය කරන්නේ ය. ශ්‍රමණ ගෞතම මෙහි පැමිණිය හොත් අපි එක් ප්‍රශ්ණයකින් ම ඔහු නිහඬ කරන්නේමු ය. හිස් සැළියක් ලණුවලින් වෙලන්නාක් මෙන් ප්‍රශ්නවලින් ඔහු වෙළන්නෙමුය’ යි කී ය. සන්ධාන ගෘහපතියා හා න්‍යග්‍රෝධ පරිව්‍රාජකයා අතර කෙරෙන මේ කථාව තථාගතයන් වහන්සේ දිව්‍යශ්‍රෝත්‍ර ධාතුවෙන් ඇසූ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ගිජුකළුපව්වෙන් බැස සුමාගධා නම් පොකුණු තෙරට පැමිණ සක්මන් කළ සේක. න්‍යග්‍රෝධ පරිව්‍රාජක සක්මන් කරන්නා වූ තථාගතයන් වහන්සේ දැක, සිය පිරිස අමතා, “ආයුෂ්මත්නි, නිශ්ශබ්ද වව්, ශ්‍රමණ ගෞතම සුමාගධා තීරයේ සක්මන් කරයි, ඒ අයුෂ්මතා නිශ්ශබ්දතාවයට කැමැත්තේ ය, නිශ්ශබ්දතාවයෙහි ගුණ කියන්නේ ය, සමහර විට ඔහු නිශ්ශබ්දවන පිරිස දැක මෙහි පැමිණෙන්නට ද සිතන්නේ ය. ඉදින් ශ්‍රමණ ගෞතම මෙහි පැමිණියේ නම් භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ශ්‍රවකයන් හික්මවන්නා වූ ධර්මය කවරේ ද? නුඹ වහන්සේගේ ශ්‍රවකයන් අර්හත්වයට පැමිණ සැනසිල්ල ලබා සිටින්නා වූ ධර්මය කවරේ දැ යි අපි ඔහුගෙන් අසමුය’යි කීය. එසේ කී කල්හි පිරිවැජි පිරිස සන්සුන් වූහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ න්‍යග්‍රෝධ පරිව්‍රාජකයා වෙත වැඩම කළ සේක. පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගොස් “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, වඩිනු මැනවි, බොහෝ කලකින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක. ස්වාමීනි, මේ අසුනෙහි වැඩ හිදිනු මැනව’යි කීය. තථාගතයන් වහන්සේ අසුනෙහි වැඩ සිටි සේක. න්‍යග්‍රෝධ පිරිවැජියා ද එක්තරා නීචාසනයක හිඳගත්තේ ය.

ඉක්බිති තථාගතයන් වහන්සේ “න්‍යග්‍රෝධ, ආයුෂ්මත්හූ මෙහි කිනම් කථාවක යෙදි හුන්නෝ ද? ඔබගේ නො නිමි කථාව කවරේ දැ’යි වදාළහ. එකල්හි න්‍යග්‍රෝධ පරිව්‍රාජක “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අපි නුඹ වහන්සේ සුමගධා තීරයේ සක්මන් කරනු දැක නුඹ වහන්සේ මෙහි පැමිණිය හොත් නුඹ වහන්සේ විසින් ශ්‍රාවකයන් හික්මවන ආකාරය, ඔවුන්ට දේශනය කරන ධර්මය විචාරන්නට කථා කරමින් සිටියමු’යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්, “න්‍යග්‍රෝධ, අන්‍ය දෘෂ්ටියක් ඇත්තා වූ අන්‍යය ධර්‍මයක් පිළිගන්නා වූ අන්‍ය ධර්‍මයක් කැමැති වන්නා වූ අන්‍ය ධර්මයක යෙදෙන්නා වූ අන්‍ය ආචාර්‍ය්‍ය වරයකු ඇත්තා වූ ඔබට මා ශ්‍රාවකයන් විනයන කරන ධර්මය තේරුම් ගැනීමට දුෂ්කර ය. ස්වීය ආචාර්‍ය්‍යපරම්පරාවෙන් එන්නා වූ තපෝජුගුප්සා නම් වූ ධර්ම ක්‍රමය ගැන විචාරව, කෙසේ වනාහි තපෝජුගුප්සාව සම්පූර්ණ වේ ද, කෙසේ සම්පූර්ණ නොවේදැයි විචාරව’යි වදාළ සේක. තීර්ථකයන් තපෝජුගුප්සා යන නාමය ව්‍යවහාර කරන්නේ තපසින් පව් දුරු කිරිමට ය. පීඩා විඳ පරණ පව් ගෙවා දැමිමෙන් හා අලූත් පව් නො කර හැරිමෙන් දුකින් මිදිමක් ඔවුහු බලාපොරොත්තු වෙති. න්‍යග්‍රෝධ පරිව්‍රාජකයාට හා ඔහුගේ පිරිසට ඒ ධර්මය ගැන ද තුබුණේ මඳ දැනුමකි.

තථාගතයන් වහන්සේ විසින් න්‍යග්‍රෝධ පරිව්‍රාජකයා හට ඔහුගේ ධර්මය ගැනම අසන්නය යි වදාළ කල්හි “පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ මහානුභාව ඇත්තෝ ය, පුදුම කෙනෙක, එතුමෝ ස්වීය ධර්මය තබා අනුන්ගේ ධර්මය ගැන ප්‍රශ්න අසන්නට කියනනාහ”යි සෙසු පිරිවැජියෝ හඬ නඟන්නට වන්හ. න්‍යග්‍රෝධ පරිව්‍රාජක පිරිස සන්සුන් කරවා තපෝජුගුප්සාව සම්පූර්ණ වන නොවන ආකාරය තථාගතයන් වහන්සේගෙන් ඇසූවේය. පරිව්‍රාජකයාගේ ප්‍රතිපත්ති පිරිමෙන් ලැබිය හැකි උසස් ම දෙය දිව්‍යංචක්ෂුරභිඥානය ය. තථාතයන් වහන්සේ දිවැස ලැබිම දක්වා පැවැත්විය යුතු පරිව්‍රාජක ප්‍රතිපත්තිය නිරවුල් කොට වදාළ සේක. ඒ පිරිසෙහි දිවැස ලැබුවෙකු තබා එතෙක් ප්‍රතිපත්තික්‍රමය අසා ඇතියකුදු නො වී ය. එබැවින් නැවත ද පිරිවැජියෝ “අපි මේ කරුණෙන් නටුවෝ වෙමු”යි ඝෝෂා කළහ.

එහිදි සන්ධාන ගෘහපති න්‍යග්‍රෝධ පරිව්‍රාජක විසින් තථාගතයන් වහන්සේට අපහස කරමින් කලින් කළ සිංහ නාදය මතු කළේ ය. පිරිවැජි ඉමහත් ලැජ්ජාවට පැමිණ තථාගතයන් වහන්සේ ක්ෂමා කර ගත්තේ ය.

(දි.නි. උදුම්බරික සුත්ත)

සූත්‍රනිපාතයෙහි බ්‍රාහ්මණධාර්මික සුත්‍රය තථාගතයන් වහන්සේ විසින් ඒ බ්‍රාහ්මණයන්ට පෞරාණික බ්‍රාහ්මණ ධර්මය දක්වා වදාළ සුත්‍රයකි. තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන අවස්ථාවක කොසොල් රට වැසි වෘද්ධ වූ මහාසාළ බ්‍රාහ්මණ සමුහයක් බුදුරදුන් දක්නට ගොස් දැනට වෙසෙන බ්‍රාහ්මණයන් කෙරෙහි පෞරාණික බ්‍රාහ්මණධර්මය ඇතිදැ යි අසා තථාගතයන් වහන්සේ විසින් ඒ පෞරාණික බ්‍රාහ්මණධර්මය වර්ථමානික බ්‍රහ්මණයන් කෙරෙහි දක්නට නැති බව වදාළ කල්හි පෞරාණික බ්‍රහ්මණ ධර්මය වදාරන ලෙස ආරාධනා කළෝ ය. එකල්හි ඔවුන්ට තථාගතයන් වහන්සේ,

“ඉසයො පුබ්බකො ආසුං - සඤ්ඤතත්තා තපස්සිනො,
පඤ්චකාමගුණෙ හිත්වා - අත්තදත්ථමචාරිසුං”

යනාදි ගාථා දෙතිසකින් යුක්ත වූ බ්‍රාහ්මණධාර්මික සූත්‍රය වදාළ සේක.