බෝමළු ආදිය ඇමදීමේ ආනිසංස

සකංසම්මජ්ජක හිමි විපස්සී බුදු රජුන් බුදුවීමට පිටදුන් පළොල් බෝධි මළුව ඇමදීමේ පිනෙන් පහත සඳහන් අනුසස් ලැබුවා හ.

  • නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ.
  • පිරිසිදු පුද්ගලයෙක් වේ.
  • වැරදි නැති නිර්මල පුද්ගලයෙක් වේ.
  • ශෝක නො දැනේ.
  • චිත්ත පීඩා දැවිලි නො වේ.
  • කුෂ්ඨ රෝග නො සෑදේ.
  • ගෙඩි රෝග නො සෑදේ.
  • කැසිලි රෝග නො සෑදේ.
  • මී මැස්මොර නො සෑදේ.
  • විතච්ජිකා නම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නො සෑදේ.
  • දද රෝග නො සෑදේ.
  • කසා සැරව ගලන රෝග නො සෑදේ.
  • වැලපීම් නැත්තෙක් වේ.
  • තැති නො ගනිත්.
  • සෘජු සිත් ඇත්තෙක් වේ.
  • පැහැදිලි සිත් ඇත්තෙක් වේ.
  • කැමති කැමති සමාධීන් ලැබීමේ ශක්තිය ලැබේ.

(අපදාන පාලි 421 වන අපදානය)

බෝධි සම්මජ්ජක හිමි ට පෙර ජීවිතයකදී බෝමළුවේ ගොඩ ගැසුනු බෝපත් දැක එය ගෙන බැහැරට දැමු පිනින් අනුසස් 20 ක් ලැබී ඇත. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් තැම්පත් සිතින් නුවණ යොදා බෝමළුව ඇමැද්දත් පහත සඳහන් විපාක ලැබේ.

  • දුගතියට නො වැටී දෙව් මිනිස් සැප ලැබේ.
  • උසස් කුලයකම ඉපදේ.
  • මනා අඟ පසඟ ඇත්තෙක් වේ.
  • ආරෝහ පරිණාහ දේහයක් ලැබේ.
  • පිරිපුන් අවයව ඇත්තෙක් වේ.
  • විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.
  • රන්වන් පාට දේහයක් ලැබේ.
  • මෘදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ.
  • සිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ.
  • සිරුරේ දැලි කුණු නො තැවරේ.
  • අවු සුළං වලින් පීඩා නො වෙයි.
  • සිරුරින් දහඩිය නො වැගිරේ.
  • කායික මානසික රෝගාබාධ නැත්තෙක් වේ.
  • සතුරන් නැත්තෙක් වේ.
  • නො අඩු වූ භෝග සම්පත් ලැබේ.
  • ගින්නෙන්, ජලයෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් බියක් නො වේ.
  • තමාගේ සිත නො රිදවන සේවක සේවිකාවන් ලැබේ.
  • අකල් මරණයන්ට පත් නො වේ.
  • සියල්ලෝ ම තමාට සැප කැමැත්තෝ ම වෙත්.
  • මහා යසස් ඇත්තේ වේ.

(අපදාන පාලි 526 වන අපදානය)

අවසානයේ මේ පින නිවනට ද උපනිශ්‍රය වී නිවන් සැප ද ගෙන දෙන්නා හ.